ප්‍රති ත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම කල් දමයි

ප්‍රති ත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම කල් දමයි

ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව කිහිපයකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවයි.

අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි මුල සතියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ අදාළ පාර්ශවකරුවන් සමග ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බැවින් එය ඉදිරිපත් කිරීම කල් දමන ලෙස රජයෙන් ඉල්ලා තිබුණා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත විරෝධී පනත්කෙටුම්පත ප්‍රකාශයට පත් කෙරුණේ, පසුගිය පනත් කෙටුම්පත පළකර තිබුණා.

ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත දී සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රිත වෙනත් වැරදිවලින් මෙරටට ජාතික ආරක්ෂාව සහ ජනතාව ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදය ආශ්‍රිත වරදක් සිදු කරන තැනැත්තෙකු හඳුනා ගැනීම, සිරභාරයට ගැනීම, නඩු පැවරීම සහ දඬුවම් දීමට අදාළ විධිවිධාන එමගින් ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේවෙතත්, මෙම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු විවිධ වෘත්තීය සංගම් නියෝජිතයින් දිගින් දිගටම විරෝධය පළ කළා.

ඒ, නව පනත මගින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ඇතුළු පුරවැසි අයිතීන් අභියෝගයට ලක්වන බවට චෝදනා කරමින්.