ඩොලරය යළි නගින ලකුණු

ඩොලරය යළි නගින ලකුණු

ඉකුත් කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමක් අඛණ්ඩ පෙන්නුම් කළ ද එම තත්ත්වය මේ වන විට යම් ප්‍රමාණයකින් වෙනස් වන බවක් විනිමය අනුපාතවල වෙනස්වීම තුළින් පෙන්නුම් කරනවා.

ඒ අනුව ඊයේ (16) සහ අද (17) දිනයේ දී එම තත්ත්වය වඩාත් පැහැදිලි අයුරකින් දැකගත හැකි වූයේ, ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය එම දින දෙක තුළ පිළිවෙලින් රුපියල් 298.90ක් හා රුපියල් 299.82ක් ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහන තුළින් නිරීක්ෂණය වීමෙන්.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 මුල් කාර්තුව තුළ දී ඩොලරයේ අනිසි විචලනයන් පාලනය සඳහා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළට වැඩි වශයෙන් මැදිහත් වූ බවයි.

එහිදී ඉකුත් මාර්තු මාසය තුළ දී පමණක් ඩොලර් මිලියන 715.1ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර ඇති අතර ඉකුත් පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 248.5ක් මිල දී ගැනීමටත් ඩොලර් මිලියන 9ක් විකිණීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබුණා.

තව ද ඉකුත් ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 245.3ක් මහ බැංකුව මිල දී ගෙන තිබුණු අතර ඒ අනුව 2024 මුල් කාර්තුව තුළ දී පමණක් ඩොලර් මිලියන 1,199.9 ක් ශුද්ධ වශයෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව ක්‍රියා කර තිබුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 වසරේ අප්‍රේල් 10 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 8.5%කින් අතිප්‍රමාණය වී ඇති බවයි.