කෘමි නාශක හා වල් නාශක මිල බසී

කෘමි නාශක හා වල් නාශක මිල බසී

කෘමි නාශක හා වල් නාශක මිල ගණන් සියයට 20 සිට 40 දක්වා මිල අඩු කිරීමට සියලු සමාගම් එකඟත්වය පළ කර තිබේ.

ඊයේ (03) කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී එම එකඟතාව පළ කර ඇත.

දැනට ගොවි ජනතාවට නිෂ්පාදන වියදම් ඉහළ මට්ටමක පවතින බැවින් ඔවුන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීම සඳහා රජය ගෙන යන සහන වැඩපිළිවෙළ සම්බන්ධව මෙහිදී අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර තිබේ.

එමෙන් ම, මෙවර යල කන්නයේදී මෙරට අලෙවි කරන සියලු ම කෘමි නාශක හා වල් නාශකවල මිල ගණන් ගොවි ජනතාවට දැනෙන මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.

දැනට ලෝක වෙළෙඳපළේ කෘමි නාශක හා වල් නාශක මිල ගණන් අවම වීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හා ආනයනය අවශ්‍යතා සඳහා රජය ඩොලර් නිදහස් කිරීම වැනි කටයුතු නිසා මිල ගණන් අවම කළ හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එම කරුණු සැළකිල්ලට ගනිමින් සියලුම වල් නාශක හා කෘමිනාශකවල මිල ගණන් සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධනාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබා දීමට ත් සියලුම සමාගම් සිය එකඟත්වය පළ කර ඇත.

මේ අතර රට තුළට හොරෙන් ගෙන එනු ලබන පලිබෝධ නාශක වැටලීම් කඩිනම් කිරීම මෙන් ම ඒ සඳහා නාවික හමුදාවේ සහයෝගය ලබා ගැනීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති අතර ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක අලෙවි කරන ආයතනවල බලපත්‍රය තහනම් කරන ලෙස ත් දැනට පලිබෝධ නාශක පනත යටතේ ලබා දිය හැකි දඬුවම් වැඩි කිරීම සඳහා සිදු කරන සං‌ශෝධන කඩිනම් කරන ලෙස ත් අමාත්‍ය මහින්ද අමරවීර පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දී තිබේ.