ආසියානු කුසලාන සත්කාරකත්වය ගැන තීරණය මාර්තුවට කල්යයි

ආසියානු කුසලාන සත්කාරකත්වය ගැන තීරණය මාර්තුවට කල්යයි

ලබන සැප්තැම්බර් මාසයේදී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය වෙනත් රටකට රැගෙන යනවාද? නැද්ද? යන්න අවසන් තීරණය ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන ආසියානු කවුන්සිල විධායක සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

ඒ ඊයේ (05 ) ආසියානු ක්‍රිකට් කවුන්සිල විධායක සාමාජිකයන් අතර බහරේනයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ගනු ලැබූ තීන්දුවකට අනුවය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුලු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

පාකිස්තානයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණු මෙවර ආසියානු කුසලානයට ඉන්දීය කණ්ඩායම සහභාගි වීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් තරඟාවලියේ සත්කාරකත්වය වෙනත් රටකට ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇතැයි පසුගියදා වාර්තා විය.

ඒ අනුව බොහෝ විට මෙවර තරඟාවලිය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට අවධානය යොමුව තිබුණි.

නමුත් පාකිස්තානය මෙම තීරණයට දැඩි විරෝධයක් පළ කර ඇතැයි වාර්තා වන අතර යම් හෙයකින් සත්කාරකත්වය වෙනස් කළ හොත් තම කණ්ඩායම සියලු ආසියනු තරඟාවලින් ද ඉවත් වන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.