අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ (31) රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180ක් පමණ නැඟෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය ක්‍රමයෙන් බටහිර දෙසට බර ව නිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 පෙරවරුවේ දී ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළ තීරය වෙතට ළඟා වෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

උතුර, උතුරු-මැද, වයඹ සහ නැඟෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි අතර, උතුර, උතුරු-මැද, නැඟෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් (50-60) පමණ තද සුළං ද බලාපොරොත්තු විය හැකි යි.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං හමනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

COMMENTS