LPL අද ඇරඹෙයි – උතුර සහ දකුණ පළමු සටන අරඹයි

LPL අද ඇරඹෙයි – උතුර සහ දකුණ පළමු සටන අරඹයි

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් 42 දෙනෙකු සහ විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 30 දෙනෙකු සති තුනක කාලයක් කණ්ඩායම් 5 කට බෙදී තරග වදින ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර අද (06වැනිදා) ප.ව. 3.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී යාපනය සහ ගාල්ල කණ්ඩායම අතර තරඟයෙන් ආරම්භ වීමට නියමිතය.

යාපනය කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරන අතර ගාල්ල කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවී ඇත.

අද දිනයේදී තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර දෙවෙනි තරඟය ලෙස නුවර සහ කොළඹ කණ්ඩායම් රාත්‍රී 7.30ට තරඟ වදිනු ඇත.

එහිදී නුවර කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංගත් කොළඹ කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ද කටයුතු කරති.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක දඹුල්ල කණ්ඩායමට නායකත්වය දෙනු ලබයි.

තරගාවලියේ මුල් තරග 5 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අනතුරුව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරග 9ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම තරග ලබන 14 වැනි දා නිමාවට පත් වේ. ලබන 17 වෙනිදා සිට තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. අවසන් මහා තරගය ලබන 23 වැනිදා පැවැත්වේ.

මෙවර තරගාවලියේ වැඩිම විදේශීය ක්‍රීඩකයන් පිරිසක් සහභාගි වන රට බවට පාකිස්තානය පත්ව සිටින අතර ඉන් ක්‍රීඩකයන් 8 දෙනෙකු මෙවර තරගාවලිය නියෝජනය කරති. ඒ හැරුනු විට බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානයෙන් ක්‍රීඩකයන් හය දෙනෙකු බැගින්ද, එංගලන්තයෙන් ක්‍රීඩකයන් පස් දෙනෙකුද, නවසීලන්තයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුද සහ සිම්බාබ්වේ සහ නෙදර්ලන්තයෙන් එක් ක්‍රීඩකයකු බැගිනුත් ක්‍රීඩා කරති.

කෙසේ වෙතත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම, තවමත් ඔවුන්ගේ හය වැනි විදේශීය ක්‍රීඩකයා නම් කර නොමැත.

පෙර තරගාවලියේදී දඹුල්ල ජයන්ස්ට් ලෙසින් තරග වැදි දඹුල්ල පිල මෙවර දඹුල්ල අවුරා ලෙසින්ද කැන්ඩි වොරියර්ස් පිල කැන්ඩි ෆැල්කන් ලෙසින්ද නම් සංශෝධනය කරමින් අවතීර්ණව සිටිති.