විරාත් කෝලි ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි

විරාත් කෝලි ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ද ඉවත් වී තිබේ.

මීට පෙර ඔහු එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් නායකත්වයන්ගෙන් ද ඉවත් වී තිබුණි.

ඊයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන් හි පැවති තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද ඔවුන්ට හැකිවිය.

තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා කීගන් පීටර්සන් ය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය ඉනිම සඳහා ලකුණු 223ක් ලබාගත් අතර දකුණු අප්‍රිකාව ඊට පිළිතුරු ලෙස ලකුණු 210ක් රැස්කළේය.

නමුත් ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 198කට සීමා විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අප්‍රිකානුවන්ට ලකුණු 212ක් ලබාගත යුතු විය.

කේ පී ගේ එඩිතර ලකුණු 82 ඊට පිහිට විය. ඒ අනුව තරගය කඩුලු 7කින් ජය ලැබීමට ඔවුන් සමත් විය.