අමාත්‍යංශ ප්‍රභලයන් ගැන බුද්ධි අංශයෙන් රහස් වාර්තාවක්

අමාත්‍යංශ ප්‍රභලයන් ගැන බුද්ධි අංශයෙන් රහස් වාර්තාවක්

නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140 කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන්ට විශේෂ වාර්තාවක් මගින් දැනුම්දී ඇත.

සමහර නිලධාරීන් තමන්ට නිල බලෙන් ලැබෙන වාහන තම පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා යොදවා අමාත්‍යාංශ සහ ආයතනවල සංචිතවල පවතින වාහන පාවිච්චි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් දරුවන් රැගෙන ඒමට පැමිණ පාසල් අවට නවතා තිබූ එවැනි සුඛෝපභෝගී වාහන ගණනාවක් පිළිබඳව රජයේ බුද්ධි අංශ ඒවායේ ඡායාරූපද සමග රජයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇත.

පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා ලබාදී ඇති වාහන රැසකට විවිධ අනතුරු හේතුවෙන් පසුගිය කාලයේදී අලාභහානි සිදුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

රජයේ වාහන අයථා ලෙස භාවිතා කර ඇතැයි පැවසෙන ප්‍රධානීන් කිහිප දෙනකුට ඒ සම්බන්ධයෙන් බලධාරීන් විසින් දැනටමත් අවවාද කරනු ලැබ ඇත.

අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩලවල වාහන අවභාවිතාව නිසා වසරකට රුපියල් කෝටි 200කට වැඩි මුදලක් නාස්ති වන බවට රජය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර ලබාදීමට මෙතෙක් දැනුම්දීමක් කර නැතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. රටේ පවතින මූල්‍යමය අරබුදය හේතුවෙන් එම වැඩපිළිවෙළ මේ මොහොතේදී ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.