ලිට්‍රෝ සභාපති තනතුර නැවතත් තෙෂාරට?

ලිට්‍රෝ සභාපති තනතුර නැවතත් තෙෂාරට?

අද (13) උදෑසන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු තෙෂාර ජයසිංහ නැවතත් එම ධුරයට පත් කිරීමට සූදානම් වන බවට නිළ නොලත් ආරංචි මාර්ග වලින් තොරතුරු වාර්තා වෙනවා.

මුතුරාජවෙල මාබිම ලිට්‍රෝ අංගනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ සිදු කළ හදිසි නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මේ තීරණයට එළඹී බවයි වාර්තා වෙන්නේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී තිබෙනවා.එහිදී මේ තනතුරු මාරුව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් නිසි අයුරින් දැනුවත් කර නොමැති බවයි.

ඒ අනුව නැවතත් තෙෂාර ජයසිංහ වෙත සභාපති ධුරය පවරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට අදාළ පත්වීම අවලංගු කිරීමේ ලිපිය මුදල් අමාත්‍යාංශයේ සැකසෙමින් පවතින බවයි නිළ නොලත් ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණේ.

අද පෙරවරුවේ ආරංචි මාර්ග සඳහන් කළේ තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කෙරුණු ඇති බවයි.