පදක්කම් දිනූ බර ඉසිලීමේ කණ්ඩායම දිවයිනට

පදක්කම් දිනූ බර ඉසිලීමේ කණ්ඩායම දිවයිනට

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර ඉකුත් 12/07 දින සිට 12/17 දින දක්වා බර ඉසිලීමේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සමාන්තරව පැවති ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම 12/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

මෙම තරගාවලි සදහා ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙක සහභාගී වීම සදහා ගොස් තිබුණි .

එහිදී කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව ශ්‍රී ලංකා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගනිමින් ඔවුන් සහභාගී වූ ලෝක ශූරතා තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම තරගාවලියේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශ්‍රීමාලී සමරකෝන් කිලෝ ග්රැම් 45 බර පංතියෙන් රන් පදක්කමත් , පොළොන්නරුව බර ඉඉසිලීමේ ක්‍රීඩා සමාජයේ තිමාලි හපුතැන්න කිලෝ ග්රැම් 87 බර පංතියෙන් රිදී පදක්කමත් ,
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ කිලෝ ග්රැම් 59 බර පංතිය සදහා සහභාගී වූ නදීශානි රාජපක්ෂ ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන තිබුණි .

එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කිලෝ ග්රැම් 81 බර පංතිය සදහා සහභාගී වූ චින්තන විදානගමගේ සහ කිලෝ ග්රැම් 73 බර පංතිය සදහා සහභාගී වූ ඉන්දික දිසානායකත් , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කිලෝ ග්රැම් 67 බර පංතිය සදහා තරග කළ ඒ.යූ.එම්.එම්.විජේසිංහ සහ පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජයේ කිලෝ ග්රැම් 61 බර පපංතිය සදහා සහභාගී වූ තිලංග පළගසිංහ යන ක්‍රීඩකයන් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි .

මෙම ක්‍රීඩකයන් පිරිස 12/19 දින අලුයම 12.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති එච්.පී.ඒ.ආර්.බණ්ඩාර , ත්‍රිවිධ හමුදා බර ඉඉසිලීමේ ක්‍රීඩා සමාජ වල නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .