කැන්ඩි එළියට දමා කොළඹ සෙමි යයි

කැන්ඩි එළියට දමා කොළඹ සෙමි යයි

මෙම ජයග්‍රහණයත් සමග කලම්බු ස්ටාර්ස් පිල ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම් සමඟ ලබන 19 වැනිදා හම්බන්තොටදී ආරම්භ වීමට නියමිත අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයේදී තරග වදිනු ඇත. ස්ටාර්ස් පිලේ පළමු තරගය වන්නේ දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව 19 වැනිදා පැවැත්වෙන ‘එලිමිනේටර්’ තරගය වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹා යෑමේදී චරිත් අසලංක සහ රවී බොපාරා එක්ව පන්දු 36 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩ නඟා ගනිමින් ජයග්‍රහණය දෙපිළටම විවෘත තත්ත්වයකට රැගෙන ඒමට සමත්වූහ. ආරම්භක පිතිකරුවන් වූ කෙනාර් ලුවිස් සහ මිනෝද් භානුකගේ කඩුලු එකම පන්දුවාරයකදී දවා ගත් වැන්ඩර්සි තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව අතරටද පිවිස අසලංකව දවා ගත්තේය. අනතුරුව පන්දු 3 ක් ඇතුළත අත්‍යවශ්‍යම පිතිකරුවකු වූ රවී බොපාරා සහ ඇන්ජලෝ පෙරේරාගේ කඩුලු දවා ගැනීමට සීකුගේ ප්‍රසන්න සමත්වීමත් නිසා වොරියර්ස් පිලෙන් තරගය ගිලිහින. අවසානයේ ඔවුන් පන්දුවාර 17 කදී ලකුණු 124 කට සීමා විය.

ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ වැන්ඩර්සි 17 වැනි පන්දුවාරයේදී වොරියර්ස් පිලේ අවසන් කඩුලු 3 ටම වගකියමින් එල්.පී.එල්. තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්තාව සිය නම ඉදිරියෙන් සටහන් කර ගත්තේය. ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ මොහොමඩ් අමීර් ජැෆ්නා පිලට එරෙහිව ලකුණු 26 ක් ඇතුළත දවා ගන්නා කඩුලු 5 මීට පෙර හොඳම පන්දු යැවීම ලෙසින් සටහන්විය. ඉතා ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කළ වමත් පා දඟ පන්දු යවන්නා නිලකුණු ඕවරයක්ද සමඟ පන්දුවාර 4 දී ලකුණු 25 ක් පමණක් ලබා දී කඩුලු 6 ක් දවා ගනු ලැබුවේ තරගයේ වීරයා සම්මානයටද හිමිකම් කියමිනි.

ලකුණු සාරාංශය

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 182 යි – (කුසල් පෙරේරා 58, ධනංජය ද සිල්වා 40, දිනේෂ් චන්දිමාල් 40*, ඇන්ජලෝ මැතිව්ස් 29, නිමේෂ් විමුක්ති 24/3, අල් අමීන් හොසේන් 40/1, සචිඳු කොළඹගේ 17/1)

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 17 කදී ලකුණු 124 යි – (රවී බොපාරා 47, චරිත් අසලංක 14, අසේල ගුණරත්න 17, කෙනාර් ලුවිස් 21, කමිඳු මෙන්ඩිස් 13, ජෙෆ්රි වැන්ඩර්සි 25/6, සීකුගේ ප්‍රසන්න 27/2, නවීන් උල්හක් 09/1)