රාජකාරිය කිරීමට පසුබිම නිර්මාණය කරදෙන්නැයි විදුලි වෘත්තීය සමිති ඉල්ලයි

අදාළ නිලධාරීන්ට අදාළ රාජකාරීන් කිරීමට පසුබිම නිර්මාණය කරදෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත මහතා පැවසීය.

අද පස්වරුවේ ලංවිම වෘත්තීය සමිති සහ ජනපතිවරයා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංවිම තාක්ෂණික ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා.

“ලංවිම තුළ අද ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව අප ජනපතිවරයා දැනුවත් කළා. මේ වනවිට ඉංජිනේරු කාර්යය කරන ප්‍රධාන ආයතනයක් ලෙස ලංවිම හැඳින්වුවත් අපිට අවාසනාවන්ත ලෙස මුළු රටටම විදුලිය විසන්දි වූ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ තියෙනවා. 2015 ඉඳලා මේ දක්වා අවස්ථා කිහිපයකදී ම ලංකාවටම විදුලිය විසන්ඳි වෙලා තියෙනවා. මේක ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක්. මොකද ඉංජිනේරුමය කරන ආයතනයක ඉංජිනේරු කාර්යය මොකක්ද කියලා අපිට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි කිව්වා නිවැරදිව අදාළ නිලධාරීන්ට අදාළ රාජකාරීන් කරන්න පසුබිම නිර්මාණය කරන්න කියලා. විශේෂයෙන් ම ඉංජිනේරුමය කාර්යය කරන අයට ඉංජිනේරු කාර්යයයත්, මානව සම්පත ඇතුළු අනෙකුත් කාර්යයන් ඉටුකිරීමට ඔවුන්ට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න කියලා. ඒත් එක්කම ඇතැම් අවස්ථාවාදී වෘත්තීය සමිති ලංවිම සභාපතිවරයා ඉලක්ක කරගනිමින් එතුමාව ඉවත් කරලා මේ ප්‍රශ්නය විසඳගන්න හදනවා නම් අපි කිව්වා ඒක කරන්න දෙන්න එපා. මේ ආයතනය නිවැරදි මාවතට, මේ ආයතනය ආයතනයේ සේවකයාට මෙන්ම 69 ලක්ෂයක් වූ පාරිභෝගික ජනතාවට බරක් නොවී කරගෙන යන්නට පසුබිම නිර්මාණය කරන්න පුළුවන් සභාපතිවරයෙක් අපිට ලැබිල තියෙනවා. මේ සභාපති තුමා සහ රජයේ ප්‍රතිපත්ති එකතුකරගෙන ආයතනයේ සේවකයන්ට සුබසාධනය සපයමින් කරගෙන යන්න තියෙන ගැටලු අපි සාකච්ඡා කළා”. 

“එතුමාගේත් රජයේත් සංකල්පය වන සියයට 70 ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට යාමට දැනට යොදා තියෙන සැලසුම් පිළිබඳවත්, අධික ලෙස ඩීසල්වලට යොදන මුදල ඉතුරු කරගනිමින් පුනර්ජනනීය බලශක්ති ඉදිරි වසරවලදී ඉතාමත් කාර්යක්ෂමව බලශක්තියට එකතු කරගන්න අවශ්‍ය සැලසුම් පිළිබඳව එහිදී සාකච්ඡා කළා.  යුදගනවි බලාගාරය පිළිබඳව ගිවිසුමේදී රටට ගැලපෙන LNG පද්ධතියක් ලබාගැනීම ගැන සාකච්ඡා කරනු ලැබුවා. මේ වනවිටත් මිලියන 350ක් විතර වන ණය බරකින් ඉන්න අපිට ඉදිරි අවුරුදු පහේදී මේ ප්‍රමාණය දෙතුන් ගුණයකින් එහා යනවා. ඒ නිසා අපිට ගැලපෙන පරිදි ඒ අදාළ LNG පද්ධතිය ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළා”.