සිඟමන් යදින දරුවෝ තිස් දහසක් මහපාරේ

සිඟමන් යදින දරුවෝ තිස් දහසක් මහපාරේ

දිවයින පුරා සිඟමන් යදින බාල වයස්කාර වීදි දරුවන්ගේ සංඛ්‍යාව තිස් දහසක් පමණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසයි.

මෙරට විවිධ ප්‍රදේශවල සිදු කළ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු මඟින් මෙම සංඛ්‍යාව තහවුරු වූ බව මහාචාර්යවරයා කීය. මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්යවරයා මෙසේ ද කීය.

“මේක ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක්. ඒ වගේ ම අනාගතයට බලපාන ප්‍රශ්නයක්. මේ දරුවන් පිළිබඳ රජයට නිවැරදි දත්ත පද්ධතියක් නෑ. නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමේ වගකීම රජයට තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් වීදි දරුවන්ගේ සංඛ්‍යාව දිගින් දිගට ම වැඩිවෙලා තවදුරටත් මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය, සොරකම්, වංචා, ලිංගික අපචාර වැනි අපරාධ විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්.”

මෙම අධ්‍යයන කටයුතුවලින් හෙළිව ඇත්තේ, මවුපියන් හෝ තාවකාලික භාරකරුවන් මෙම කුඩා දරුවන් සිඟමනේ යෙදවීමට මෙන්ම වෙනත් මුදල් ඉපයීමේ කටයුතු සඳහා යෙදවීමට ද පියවර ගන්නා බව ය. ජනාකීර්ණ නගර, සිද්ධස්ථාන වැනි ස්ථාන කේන්ද්‍රකොට තනිව ම හෝ වැඩිහිටියන් සමග සිඟමන් යදින වයස අවුරුදු 04 – 15 අතර දරුවන් බහුතරයක් පාසල් නොයන බවත් ඇතැම් මවුපියන් මෙම දරුවන් විවිධ කුලී වැඩ මෙන් ම වීදි වෙළෙඳාම් වැනි කටයුතු සඳහා යොදවන බවත් මෙම බහුතර මවුපියන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බැවින් මෙම ඇතැම් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම වංචා, සොරකම්, ලිංගික අපචාර ආදියට ද ඇබ්බැහි වී සිටින බව ද එම පර්යේෂණ මගින් හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මෙම තත්ත්වය පිළිබඳව පොලිසිය දැනුවත්ව සිටින බව ය.

තව දුරටත් අදහස් පළ කළ පොලිස්පතිවරයා මෙසේ ද කීය.

“මේ ඇතැම් දරුවන් පොලිසිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් ප්‍රධාන ගැටලුව වෙන්නේ මේ බාල වයස්කාර දරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තැබීම සඳහා නිසියාකාර ආරක්ෂිත ස්ථානයක් නොමැති වීමයි. යාචකයන් අත්අඩංගුවට ගෙන රඳවා තබන සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් රිදීගම කඳවුර මේ වන විට පිරී ඉතිරී ගොස් තිබෙනවා. මේ තත්ත්වය අනුව වීදි දරුවන් අධිකරණයට දාලා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් ඵලක් වෙන්නේ නෑ. මේ ළමයි දීර්ඝකාලීන පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකළ යුතු යි. ඒ සඳහා ඉඩකඩ සහිත සුදුසු ස්ථානයක් නෑ.”