ජාතික මුරුංගා දිනයක්

ජාතික මුරුංගා දිනයක්

ජාතික මුරුංගා දිනයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරේ.

සිංහල හින්දු අලුත් අවුරුද්දට යෙදෙන පැළ සිටුවීමේ නැකත් දිනය මුරුංගා ජාතික දිනය ලෙස නම් කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබේ.

පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් ලෙස ලෝකයම පිළිගන්නා මුරුංගා පත්‍ර සහ එහි ශාක කොටස් ආහාරයට ගැනීමට මෙරට ජනතාවගේ අවධානය යොමුකිරීමේ අරමුණින් මුරුංගා සඳහා ජාතික දිනයක් නම් කිරීමට තීරණය කර ඇති බව දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසීය.

ඒ අනුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද සංරක්ෂණ මණ්ඩලය සහ Moringa for life ජාත්‍යන්තර සංවිධානය ඒකාබද්ධව අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකතට නිවෙස්වල මුරුංගා පැළයක් සිටුවීම සඳහා මුරුංගා පැළ සිටුවීමේ ජාතික වැඩසටහනක් අප්‍රේල් මස 18 වැනිදා ක්‍රියාත්මක කෙරේ.

මේ සම්බන්ධ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී Moringa for life ජාත්‍යන්තර සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ වසන්ත කුලතුංග මෙම ශාකයේ පවතින ඖෂධීය ගුණය පිළිබඳව ඇමරිකාවේ කැලිෆෝනියාවේ පර්යේෂණ කළ මොරිකෝ ගිල්ෆොඩ් සහ ත්‍රිකුණාමලය මුරුංගා පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානයේ දමයන්ති ජෝන් ලී විසින් මෙම පර්යේෂණවලට අදාළ ග්‍රන්ථයක් අමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.