පලිබෝධනාශක පාලන පනත සංශෝධනය ක‍රන්න සැරසෙයි

පලිබෝධනාශක පාලන පනත සංශෝධනය ක‍රන්න සැරසෙයි

රට තුළ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් පළිබෝධ නාශක පාලන පනත වහා ම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

දැනට පවතින නීති යටතේ ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල්නාශක අලෙවි කිරීම මෙන්ම නීති විරෝධි ලෙස ආනයන නීති උල්ලංඝණය කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන පළිබෝධ නාශක හා වල් නාශක සම්බන්ධව අය කරන දඩ මුදල හා සිර දඬුවම් ප්‍රමාණවත් පරිදි එම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල නොකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

එම නිසා පළිබෝධ නාශක පාලන පනත සංශෝධනය කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ප්‍රමිතියෙන් තොර වල්නාශක හා පළිබෝධ නාශක ජාවාරම්කරුවන්ට අඩු තරමින් රුපියල් ලක්ෂ 15ක වන්දියක් හා අවූරුදු තුනක සිර දඬුවම් හෝ ඒ දෙක ම ලැබෙන පරිදි නව වගන්ති ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත.

එමෙන් ම පළිබෝධ නාශක හා වල් නාශක වගාවන් සඳහා භාවිත කිරීමේදී ඒවායේ මිල ගණන් ඉහළ යාම ගොවි ජනතාවට දරා ගත නොහැකි නිසා ග්‍රෑම් 20 පැකට් වශයෙන් වෙළෙදපළට නිකුත් කිරීමට අවසර ලබා දීමට ද තීරණය කර තිබේ.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කරනු ලබන අලෙවි නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කරන ලෙස ද කෘෂිකර්ම අමාත්‍යවරයා පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

එවැනි ස්ථාන හදිසි වැටලීම්වලට ලක් කිරීමට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මෙන් ම පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරි කණ්ඩායම් කිහිපයක් යෙදවීමට ද තීරණය කර තිබේ.

මේ අතර, මහින්ද අමරවීර මහතා පළිබෝධ නාශක ආනයනකරුවන් හා බෙදාහරින්නන් සමග කළ සාකච්ඡාවේදී ගොවීන් වැඩි පිරිසක් භාවිත කරන වල් නාශක වන Pretilaclore ලීටර් 1ක් සියයට 40ක්, Heydoll MCPA 60 ලීටරයක් සියයට 32ක්, Proxy ලීටර් 01ක් සියයට 14කින් හා Tetris මිලි ලීටර් 400ක් සියයට 13ක වශයෙන් මිල අඩු කිරීමට එකඟත්වය පළ කර ඇත.