X-Press Peral නෞකාවට මොකද වෙන්නේ?

ශ්‍රී ලංකාවේ කොළඹ වරායට නොදුරු මුහුදේ සිදුවු MV X-Press Peral නෞකා අනතුර යනු කිසිදිනක අමතක කළ නොහැකි සහ මෙතෙක් අවසන් යැයි කිව නොහැකි මෙරට ඉතිහාසයේ සිදුවු දරුණුතම සමුද්‍රීය පාරිසරික ඛේදවාචකයකි. එපමණක් නොව විශේෂඥයන්ට අනුව මෙය ලෝක නාවික ඉතිහාසයේ රසායනික හා ප්ලාස්ටික් වලින් සිදුවූ දරුණුතම සමුද්‍රීය පාරිසරික හානිය වු සිද්ධියයි.

නෞකාව ගිනිගෙන මුහුදුබත් ව දින 150ක කාලයක් ගතවුවද මෙතෙක් ඉන් සිදුවන බලපෑම අවසන් වී නැත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අනුව මේවන විටත් දෛනිකව තෙල් ලීටර් 20කට ආසන්න ප්‍රමාණයක් නෞකාවෙන් කාන්දු වෙමින් පවතියි.

දැනට පවතින අවදානම

එක්සත් ජාතීන්ගේ පාරිසරික උපදේශන කමිටුව පසුගිය ජුලි මාසයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, X-Press Peral නෞකාවෙන් සිදුවිය හැකි හදිසි අවදානම් දෙකක් අවම කිරීම සඳහා කඩිනම් පියවර ගතයුතුව ඇති බවයි. එම අවදානම් නම්,

01 නෞකාවේ ඇති ඉන්ධන තෙල් හදිසි කාන්දුවක්.

02 සුන්බුන් සහ නැතිවූ බහාලුම් වලින් සිදුවන දූෂණය හා සංචලන අනතුරු.

නෞකාව ඉවත් කරන්නේ කොහොමද?

නෞකාව මුහුදුබත් වු ස්ථානයෙන් ඉවත් කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටියි

නෞකාව මුහුදුබත් වු ස්ථානයෙන් ඉවත් කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටියි. කෙසේවෙතත් නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ නෞකාව හිමි සමාගමටය. ඒ අනුව නෞකාව ඉවත් කිරීමේ කටයුතු භාර දීම සඳහා නෞකාව හිමි සමාගම විසින් අන්තර් ජාතිකව ටෙන්ඩර් කැඳවා අවසන් කරනු ලැබ ඇති අතර සමාගම් 08ක් ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.

ඒ අතුරින් සමාගමක් තෝරා ගැනීමෙන් පසු සහ වාරකන් සමය නිමා වීමෙන් පසු, මේ මස අග හෝ ලබන මස මුල නෞකාව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර බීබීසී සිංහල සේවය සමග පැවසීය. එම සියලු කටයුතු සිදුවන්නේ මෙරට බලධාරීන්ගේ අධීක්ෂණය හා උපදේශනය යටතේ බවත් ඇය වැඩිදුරත් පැවසීය.

නිශ්චිත සමාගමක් තෝරා ගැනීමෙන් අනතුරුව නෞකාව එම ස්ථානයෙන් ඉවත් කරන්නේ කෙසේදැයි තීරණය කෙරෙනු ඇති බවට ඇය පැවසීය. නෞකාව එම ස්ථානයෙන් ඇඳගෙන යාම හෝ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් තීරණය කර උපදෙස් ලබා දීමට නියමිත බවට ඇය පැවසීය.

රසායනික හා ප්ලාස්ටික් වලින් ලොව සිදුවු දරුණුතම සමුද්‍රීය පරිසර හානිය

මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජිත් ද අල්විස්ට පවසන්නේ X-Press Peral නෞකා අනතුරින් පෙනෙන සහ නොපෙනෙන පරිසර විනාශයක් පවතිනා බවත් ලෝක නාවික ඉතිහාසයේ රසායනික හා ප්ලාස්ටික් වලින් සමුද්‍රීය පරිසරයට හානි වූ දරුණුතම සිද්ධිය මෙය බවත් ඔහු සඳහන් කෙරිණ.https://bbc.com/ws/av-embeds/cps/sinhala/sri-lanka-58870394/p09ljv9g/siවීඩියෝ ශීර්ෂ වැකිය,

සාගර දුෂණය ; මියගිය තල්මසෙකු සහ කැස්බෑවන් තිදෙනෙක් වෙරළට ගොඩ ගසයි

නෞකාවේ හානිකර ද්‍රව්‍ය ඇතුළත් බහාළුම් 81ක් තිබිණි. නෞකාවේ ඇතිවු ගින්නේ පසු, එහි ප්‍රවාහනය කරමින් තිබූ ප්ලාස්ටික් නිශ්පාදනය කිරීමට යොදා ගන්නා කුඩා ප්ලාස්ටික් පබළු ටෝන් ගනනක් අප වෙරළ තීරයට ගොඩගසා තිබිණි.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුවද වෙරළ තීරයෙන් එම ද්‍රව්‍ය ඉවත් කිරීමට මෙන්ම වෙරළ පවිත්‍ර කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගත් ගත් කාර්යක්ෂම පියවර එක්සත් ජාතීන්ගේ පාරිසරික උපදේශන කමිටු වාර්තාව මගින්ද පැසසුමට ලක්කර ඇත.

කෙසේවෙතත්, ඉන් සිදුවු බලපෑම හෝ පරිසර දුෂණය මෙතෙක් අවසන්ව නොමැති අතර එය මෙරට මුහුදු කලාපයට පමණක් සීමා වන්නේ ද නැත යනුවෙන් පරිසරවේදීන් හා විශේෂඥයන් පැවසීය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජිත් ද අල්විස්ට පවසන්නේ ශ්‍රී ලංකා වෙරළට මෙන්ම අද වන විට ඉන්දුනීසියාව දෙසටද මෙම අපද්‍රව්‍ය පැතිර යමින් ඇති බවයි.

පරිගණක ආකෘති වලින් පැමිණි නිගමනවලට අනුව වර්ග කිලෝමීටර් 100,000ක පමණ වපසරියක මෙම ප්ලාස්ටික් ද්‍රව්‍ය පැතිර යනු ඇති බවත් වසර ගනනාවක් තුළ මෙම ද්‍රව්‍ය ලොවපුරාම පාහේ පැතිර යනු ඇතැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අදහස් දක්වමින් පැවසීය.

පරිසර හානි ගණනය

MV X-Press Peral නෞකා අනතුරින් සිදුවු පාරිසරික හානිය ගණනය කිරීම මෙතෙක් අවසන් වී නැති අතර ඒ සඳහා මැදිහත්ව සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාරිසරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන පවසන්නේ එම ගණනය කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බවයි.https://bbc.com/ws/av-embeds/cps/sinhala/sri-lanka-58870394/p09vmw5d/siවීඩියෝ ශීර්ෂ වැකිය,

X-PRESS PEARL ; නෞකාව මුහුදුබත් වූ ප්‍රදේශයේ මුහුදු පතුල ‘ස්කෑන් පරික්ෂාවකට’ ලක් කෙරේ

සමුද්‍රීය පරිසර පද්ධතියට, මුහුදු ජීවීන්ට, කොරල් පද්ධතියට සහ ධීවර හා සංචාරක කර්මාන්තයට සිදුවු ආර්ථික හානිය සම්බන්ධයෙන් ද විවිධ ආකෘති තුළින් එම ගණනය කිරීම් සිදු කෙරෙමින් පවතින බවට ඇය පැවසීය.

විවිධ ක්‍රමවේද හා මෙතෙක් ලොව සිදුකර ඇති ගණනය කිරීම් ක්‍රම පිළිබඳ එහිදී සලකා බැලෙන අතර සමාජ ආර්ථික සමීක්ෂණ හා පාරිසරික ආර්ථික විද්‍යා මුලධර්ම අනුව ගණනය කිරීම් සිදුවනු ඇති බවත් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන පැවසීය.

සමුද්‍ර ජීවින්ට සිදුවු බලපෑම

නෞකා අනතුරින් පසු, මිය ගිය කැස්බෑවුන් 329ක්, තල්මසුන් 07 සහ ඩොල්ෆින් සත්වයින් 36ක ගේ සිරුරු මෙරට වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවී ඇත.

වෙරළට ගසාගෙන එන ලද කැස්බෑ සංඛ්‍යාවට වඩා, මියගිය කැස්බෑවුන් විශාල සංඛාවක් වෙනත් මුහුදු තීරයන්ට හෝ මුහුදු පතුලේ තැම්පත් වන්නට ඇතැයි විශේෂඥයන් පවසයි. එය දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවට වඩා 05 ගුණයක් හෝ 10 ගුණයක් විය හැකි බව ඔවූහු පැවසීය.

“කැස්බෑවුන් නැවත නොපැමිණෙන්නට පුළුවන්”

මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන පවසන්නේ ලොව තර්ජනයට ලක්ව ඇති කැස්බෑ විශේෂයන්ගෙන් 05ක්ම මෙරට වෙරළ තීරයට පැමිණෙන බවයි.

ඇය තවදුරටත් පෙන්වා දෙන්නේ විද්‍යාත්මක සංසිද්ධිකට අනුව මෙවැනි හානියකට මුහුණ දුන් විට බේරි ගිය කැස්බෑවුන් යළි මෙරට වෙරළට නොපැමිණීමේ අවදානමක් ඇති බවයි. මෙය අතිවිශාල හානියක් බවට මහාචාර්යවරිය පැවසීය.

ධීවර තහනම ඉවත් වන්නේ කවදාද?

MV X-Press Peral නෞකා අනතුරත් සමග මීගමුවේ සිට පානදුර දක්වා මුහුදු තීරය ආශ්‍රිත ධීවර කටයුතු තහනම් කෙරිණි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කරන්නේ නෞකාවෙන් මුහුදට වැටී ඇති බහළුම් ඉවත් කරන තුරු එම තහනම ඉවත් කළ නොහැකි බවයි. ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කරන අතර ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත බහුදින ධීවර යාත්‍රාවලට මෙම තහනමෙන් බාධාවක් නොමැති බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

වන්දිය

වන්දිය කොටස් 02 කින් සමන්විත වනු ඇත. සෘජු වියදම් හා පරිසර හානියට වන්ධි ගනනය කරමින් තිබෙන බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර පැවසීය. මැයි 20 වැනිදා සිට ජුනි 02 වැනිදා අතර කාලය තුළ වියදම් ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඩොලර් මිලියන 40ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර ඉන් ඩොලර් මිලියන 3.6ක් ලැබී ඇති බවට ඇය පැවසීය. සම්පූර්ණ පරිසර හානි ගණනය කිරීමෙන් පසු සෙසු වන්දි ලබා ගැනීමට නියමිත බවට නීතිඥ දර්ශනී ලහඳපුර පැවසීය.

උගත් පාඩම්

වසරක් තුළ ශ්‍රී ලංකාව නෞකා අනතුරු 02කට මුහුණ දීමට සිදුවිය. ඉන් එක් අනතුරක් වුයේ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී MT New Diamond නෞකාවේ ඇති වූ ගින්නයි.

නාවික ගමනා ගමනයේ කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකා මුහුදේ සිදුවු පළමු හෝ දෙවන අනතුර මෙය නොවනු ඇති බව විශේෂඥයින්ගේ අදහසයි. එ බැවින් ඒ සඳහා මුහුණ දීමට හා ක්ෂණිකව ක්‍රියාත්මක වීමට නිසි යාන්ත්‍රණයක් මෙන්ම පහසුකම් අප සතුව පැවතිය යුතු බවට ඔවුන් පවසයි.

UK-based Oil Spill Response experts look for pollutants from the Singapore-registered container ship MV X-Press Pearl, which is sinking after burning for almost two weeks in the sea off Colombo Harbour, at Sarakkuwa beach, north of Sri Lankas capital Colombo on June 10, 2021.

ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සැලැස්ම වි අත්තේ සමුද්‍රීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටු වීම බවට නීතිඥ දර්ශනී ලහඳපුර පැවසීය. ඒ සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කරමින් ඇති බවත් අවශ්‍ය පහසුකම් විදේශීය අධාර වශයෙන් ලබා ගැනීමට නියමිත බවත් ඇය පැවසීය.

සමුද්‍රීය ආපදාවලදී අවශ්‍ය වන තෙල් විසුරුම් පාලනය කිරීමේ යාත්‍රා ලබා ගැනීමත්, තෙල් උරා ගැනීමේ උපකරණ හා බූම් උපකරණ ලබා ගැනීමටත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම්කර තිබෙන බවට ඇය තවදුරත් පැවසූ අතර ඒ සඳහා යන පිරිවැය තවම නිශ්චිතව ගණනනය කර නැති බවට ඇය අපහා පැවසීය.

මීට අමතරව පවත්නා නීති සංශෝධනය කිරීමටත්, ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් කර නොමැති අන්තර් ජාතික සමුද්‍රීය සම්මුතීන්වලට අත්සන් කිරීමට ද නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර පැවසීය.

සමුද්‍රීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය කටයුතු කරමින් සිවින බවත් ඒ සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර, අධිකරණ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් හා විදේශ අමාත්‍යංශය අතුළු රාජ්‍ය ආයතන එක්ව ඒ සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කරමින් සිටින බවට ඇය පැවසීය.

“රජයේ විවිධ ආයතනවල ශක්‍යතාවයන් හා නීතිමය රාමු සහ විදෙස් වලින් ගත යුතු ආධාර මොනවාද යන්න පිළිබඳ මේවන විට හඳුනාගෙන තියෙනවා. දෙසැම්බර් මාසය වන විට එම සංකල්ප පත්‍රිකාව සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තුවෙනවා.”

“සමුද්‍ර ආපදාවලදී, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ශක්‍යතාව වැඩි කිරීමට අවශ්‍ය තෙල් විසිරුම් පාලනය කිරීමේ යාත්‍රා, රසායනික ද්‍රව්‍ය ඉසීමට යොදා ගන්නා යාත්‍රා , තෙල් විසිරීම පාලනයට යොදා ගන්නා බූම් උපකරණ, සහ තෙල් උරා ගන්නා උපකරණ ලබා ගැනීමට දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනේ,” යනුවෙන් ඇය පැවසීය.

සමුද්‍රීය ආරක්ෂණ අධිකාරී පනතේ අති අඩුපාඩු හඳුනා ගෙන ඇති අතර ඒවා ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බවත් මීට අමතරව දැනට ශ්‍රී ලංකාව අත්සන් කර නැති අන්තර් ජාතික සම්මුතිවලට අත්සන් තැබීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද දර්ශනී ලහඳපුර සඳහන් කළාය.

“HNS සම්මුතිය , බංකර් ඔයිල් සම්මුතිය , IMO සංවිධානයේ වායු දුෂණයට අදාළ සම්මුතිය වගේ දැනට එලෙස අත්සන් කළයුතු සම්මුති 08ක් හඳුනා ගෙන තියෙනවා”

තවත් තොරතුරු ;