ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා සහ මිසයිල දියත් කර තිබෙනවා.

එය ප්‍රබල ප්‍රහාරයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකාය සඳහනකර සිටියේ ප්‍රහාරය “විශේෂිත ඉලක්ක” ඉලක්ක කරගත් බවයි.

ඊශ්‍රායල හමුදා ආරංචි මාර්ග පැවසුවේ ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බවයි.

පසුගිය අප්‍රේල් 01 වැනිදා එනම් මීට දින 13කට පෙර සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊශ්‍රායලය එල්ල කළ බවට සැකකෙරෙන මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතරට සිරියාවේ සහ ලෙබනනයේ ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරින් දෙදෙනෙකු සහ හමුදා ප්‍රධානීන් 05 දෙනෙකුද ඇතුළත් වුණා.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ගාසා තීරයේ යුද්ධය, මැද පෙරදිග කලාපය පුරා පැතිරීම වැලැක්වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අඛණ්ඩව සිදුකරගෙන යන පසුබිමකයි.

මෙම ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් වශයෙන් මෙම දරුණු ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

කෙසේ වෙතත් අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉදිරි පැය 48 ඇතුළත ඊශ්‍රාලයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි.

ඊශ්‍රායලය පවසා සිටියේ එම ප්‍රහාර හමුවේ ආරක්ෂාව සලසා ගැනීමට සූදානම් බවටයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉරානයට අනතුරු අගවමින් ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් කැප වන බවයි.

එවැනි පසුබිමක් තුළයි ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ.

https://tinyurl.com/598k7jmm