ලංකා ප්‍රිමියර් ලීගයට සුපිරි බුලට් 400ක් ලියාපදිංචි වෙයි

ලංකා ප්‍රිමියර් ලීගයට සුපිරි බුලට් 400ක් ලියාපදිංචි වෙයි

එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා 400කට අධික විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

එම ක්‍රීඩකයන් අතර පාකිස්ථාන නායක බාබර් අසාම්, එම කණ්ඩායමේ ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශා අෆ්‍රිඩි, නවසීලන්තයේ ජිමී නීෂම්, ටිම් සවුති සහ ඉෂ් සෝධි වැනි අන්තර්ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රවීනයන් ද සිටින බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අදියර සඳුදා අවසන් වීමට නියමිත අතර, සංවිධායකයන් විසින් අවසන් ක්‍රීඩක ලැයිස්තුව ආසන්න වශයෙන් 150ක් දක්වා අඩු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තෝරා ගන්නා ක්‍රීඩකයන් වෙන්දේසිය සඳහා තෝරා ගන්නා අතර එම වෙන්දේසිය එළඹෙන මැයි 16 වැනි දා කොළඹ තරු පහේ හෝටලයක දී පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි අදියර එළඹෙන ජූලි 1 සිට 21 දක්වා පැවැත් වීමට නියමිතයි.

COMMENTS