රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර ගැන ගැටලු රැසක්

රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර ගැන ගැටලු රැසක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කිසිදු විනිවිදභාවයක් නැති බැවින් හා ඒ සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව පෙනී යන බැවින් ඒ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් සිදුකොට සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිලධාරීන්ට පසුගිය දා උපදෙස් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අදාළ තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යන සියලු ආයතන ඒකාබද්ධව මේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් සිදුකොට සති දෙකක් තුළ වාර්තාවක් ලබා දිය යුතු බවයි.

එසේම මෙම විශ්ලේෂණය ලැබෙන තුරු ඊට අදාළ බලපත්‍ර ලබාදීමේ කාලය දීර්ඝ කරන අදාළ ගැසට්පත්‍රයට අනුමැතිය ලබා දීමට හැකියාවක් නොමැති බව ද එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා උපදෙස් දී තිබෙනවා.

මේ අනුව මෙම ක්‍රමවේදය හරහා බලාපොරොත්තු වූ අරමුණ වන විදේශ ප්‍රේෂණ සැලකිය යුතු මට්ටමෙන් ලැබී තිබේ ද, නොඑසේනම් යම් යම් පුද්ගලයන් කිහිපදෙනෙකු මෙම පහසුකම අවභාවිත කර තිබේද යන්න සොයා බලා මෙම විශ්ලේෂණාත්මක වාර්තාව සකස් කරන ලෙස ද දැනුම් දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අයුරින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදාළ වාර්තාව කැඳවා ඇත්තේ, විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමයේ කාලය 2024 සැප්තැම්බර් 30 දක්වා දිගු කිරීම සදහා පළ කරන ලද අංක 2368/24 දරන ගැසට්පත්‍රය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා වූ අවස්ථාවේදීයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනාක්‍රමය ක්‍රියාත්මක වූ අතර අමෙරිකානු ඩොලර් 20000ක් හෝ ඊට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කර ඇති ශ්‍රමිකයන්ට රුපියල් මිලියන 12 දක්වා සුඛෝපභොගී මෝටර් රථ බදු සහනය ලබා දී තිබුණා.

ඊට අදාළව 2023 පෙබරවාරි 10 ගැසට් පත්‍රයෙන් මුල් වරට ක්‍රියාත්මක වූ මෙම යෝජනා ක්‍රමයේ කාලය 2023 මැයි 31 දින නිකුත් කළ ගැසට් පත්‍රය මගින් දිගු කිරීමක් සිදු කර ඇති අතර නැවත 2024.01.24 ගැසට් පත්‍රය මගින් තවදුරටත් දිගු කිරීමට කටයුතු කෙරුණා.

COMMENTS