පැළ සිටුවීමේ නැකත අද පෙරවරු 10.16ට

පැළ සිටුවීමේ නැකත අද පෙරවරු 10.16ට

සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබේ.

නැකතට පැළයක් සිටුවීමේ ජාතික මහෝත්සවය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පෙරවරුවේ නියමිත නැකත් වෙලාවට අනුව පැවැත්වේ.

දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙස ජාතික නැකත් සීට්ටුවේ සඳහන්ය.

මෙයට සමගාමීව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන මඟින් රට පුරා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව වැවිලි භෝගයක් ලෙස පුවක් පැළ මිලියන 1.5ක් රෝපණය කිරීමේ වැඩසටහන, තේ වතුවල පුරප්පාඩු සිටුවීම සඳහා තේ පැළ මිලියනයක් ලබාදීම, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා ලක්ෂයක් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා 30,000ක් ආරම්භ කිරීම ද සිදු කෙරේ.

එමෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කුරුඳු, ගම්මිරිස්, ආදී කුළුබඩු පැළ වර්ග ද පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය මඟින් පොල් පැළ 50,000ක් රෝපණය කිරීමේ වැඩසටහන ද මීට සමගාමීව අද ආරම්භ කෙරේ. එමෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් පැළ රෝපණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.