තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවයි ප්‍රකාශ කළේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ අද (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

නුවරඑළිය, හඟුරන්කෙත, මස්කෙළිය, කොත්මලේ සහ වලපනේ ආසන නියෝජනය කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක තරුණ දේශපලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අද ඇතැමුන් අකුල් හෙළමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම සංවර්ධන වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමි වන්නේ නම් එය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කළ හැකි බවයි පෙන්වාදුන්නේ.

පැරණි දේශපාලනයේ නිරතව රට සංවර්ධනය කළ නොහැකි බවත්, රටට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කර ගනිමින් රට සංවර්ධනය කිරීමට නම් සියලුදෙනා එකඟතාවයකින් කටයුතු කළයුතු බවත් එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.