ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු යළි හිස ඔසවමින් තිබෙන බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. ගත වූ සතිය තුළ රෝගීන් දෙදහස් අසූ එක් දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන්නේ.

වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු මදුරු ව්‍යාප්තිය වර්ධනය වී තිබෙනවා. ඒ සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 81 කින් ඩෙංගු රෝගීන් හදුනාගෙන ඇති අතර ඉන් 21 ක්ම අධි අවදානම් කලාප වනවා. පාදුක්ක, කැස්බෑව, වාද්දුව, වත්තේගම, බෝපෙ, හික්කඩුව, මොරටුව, මාතර, කින්නියා, වාලච්චේනය, කුලියාපිටිය, පන්නල, උඩුබද්දාව ඊට අයත්. නාත්තණ්ඩිය, බණ්ඩාරවෙල, හපුතලේ, බලංගොඩ, දෙහිඕවිට සහ වරකාපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ද ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශයි. බුලත්සිංහල පූජා පිටිය, බලපිටිය, කරන්දෙණිය, තංගල්ල, වලස්මුල්ල, නල්ලූර්, චාවකච්චේරි, වව්නියාව, ඉබ්බන්ගමුව, දංකොටුව, මාදම්පේ සහ කෑගල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ද ඩෙංගු අධි අවදානම් කළාප ලෙසයි හදුනාගෙන තිබෙන්නේ.

රෝහල්ගතවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.