මාර්ගය අවහිර කළ ගොවි උද්ඝෝෂණය

මහ කන්නය සඳහා රසායනික පොහොර ඉල්ලා සංවිධානය කළ ගොවි උද්ඝෝෂණ අදත් ප්‍රදේශ කිහිපයක දී පැවැත්වුණි.

පොහොර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කළ විරෝධතාවක් අද පෙරවරුවේ පොළොන්නරුව නගරයේ දී සංවිධානය කර තිබුණි.

එම විරෝධතාවයට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 35ක පමණ ගොවීන් සහභාගී වී සිටි අතර එම විරෝධතාවය හේතුවෙන් කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර විය.

මේ අතර, සමගි ජන බලවේගය සහ ගොවි සංවිධාන එක්ව සංවිධානය කළ විරෝධතාවයක් අනුරාධපුර පදවිය නගරයේ දී පැවැත්වුණි.

එම විරෝධතාවයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාද එක්ව සිටියේය.

මේ අතර, මහ කන්නය සඳහා අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් ඉන්දියාවේ සිට අද ගුවනින් මෙරටට ගෙන්වන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි.

අද දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වු ඒ මහතා,

“අද පොහොර එනවා. මොකද්ද එන්නේ නැනෝ නයිට්‍රජන්, නයිට්‍රජන් පෝෂකය තමයි අද ඉදන් අපේ ලංකාවට ලැබෙන්නේ.”

ප්‍රශ්නය –  ඔය නැනෝ නයිට්‍රජන් කියන්නේ 100%ක් කාබනික වගාවට යොදා ගන්න පුළුවන් පොහොරක් ද?

“දැන් මේ පොහොර කියන්නේ රසායනික සංඝටක එකතු කරලා, සාදන සංයෝගයක්. එතකොට මේ අද එන නැනෝ නයිට්‍රජන් ප්‍රඩක්ට් එකක් විදියට කාටහරි කියන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක් කියලා. මේකේ ජීවි ද්‍රව්‍ය නැති නිසා මේක අකාබනිකයි කියලා කියන්නත් පුළුවන්. එහෙම නෙමෙයි මේක විශේෂිත පොහොරක්. යූරියා කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක් වෙනුවට තුන්වෙනි පරම්පරාවේ නැනෝ නයිට්‍රජන් එකකින් ගහන්න ඕනේ 500ml බෝතලයක් පමණයි. හෙක්ටයාරයකට මේකෙන් අවශ්‍ය වෙන්නේ 2.5lයි. එක වතුර ලීටරයකට දිය කරන්නේ 4ml.”

COMMENTS