ලංකාවෙන් යුක්‍රේන යුද්දෙට කුලී හේවායන් යැවූ ඒජන්තයෝ දැලේ

ලංකාවෙන් යුක්‍රේන යුද්දෙට කුලී හේවායන් යැවූ ඒජන්තයෝ දැලේ

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු මහ මොළකරුවන් වූ විශ්‍රාමික මේජර්වරයෙකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මකව සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කළ පුළුල් විමර්ශනයකින් පසුව මෙම මහ මොළකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද නියමිතයි.

රුසියානු හමුදා කඳවුරුවල පිරිසුදු කිරීමේ සේවය සඳහා යැයි පවසමින් මෙම පිරිස් මෙරටින් යවා ඇති අතර එරටදී ඔවුන් රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස යොදාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම මහ මොළකරුවන් දෙදෙනා මෙම මිනිස් ජාවාරමේ නිරතව විශාල පිරිසක් මෙලෙස රුසියාවට යවා ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

මෙලෙස මෙරටින් රුසියාවට ගිය පිරිස් මෙරට හමුදා සේවයේ යෙදුණු විශ්‍රාමිකයන් බවද සඳහන්.

අත්අඩංගුවට ගත් මේජර්වරයා වාරියපොළ පදිංචිකරුවකු බවත් ඒජන්සිකරු මහනුවර, දිගන අයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස යැවුණු ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු යුක්‍රේන ප්‍රහාරවලින් මියගොස් ඇති බවටත් සමහරු රුසියානු හමුදා කඳවුරුවල සිරකර ගෙන සිටින බවත් වාර්තා වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.