සුඛෝපභෝගී මෝටර් රථ 112ක් ගැන නියෝගයක්

සුඛෝපභෝගී මෝටර් රථ 112ක් ගැන නියෝගයක්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි කර තිබෙන විවිධ පුද්ගලයන්ට අයත් මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිලි 112ක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේ.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම වාහන නිසිලෙස නිෂ්කාශනය නොකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගනක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුලත් කර මෙම අධි සුඛෝපභෝගී වාහන 112ක් ලියාපදිංචි කර ඇති බවයි.

මේ හේතුවෙන් රජයට අයවිය යුතු රුපියල් බිලියන පහකට අධික බදු ආදායමක් අහිමි වී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ෂණ ආරම්භ කළ බවයි අල්ලස් කොමිසම දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අදාළ විමර්ෂණ සිදුකෙරෙන බැවින් මෙම වාහන පැවරීම හා අන්සතු කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළා.

COMMENTS