පාසල් ළමුන්ට වෙන් කළ සහල්වල ප්‍රමිතිය ගැන සහතිකයක්

පාසල් ළමුන්ට වෙන් කළ සහල්වල ප්‍රමිතිය ගැන සහතිකයක්

පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් වන අතර එම කමිටුව අදාළ නිර්දේශය ලබා දී ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමින්.

එලෙස ආයතන කිහිපයක් මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් යළි පරීක්ෂා කර ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කේෂ්ත්‍රය නියෝජනය වන පරිදි නිලධාරී කණ්ඩායමක් යොදවන ලෙසත්, මෙම සහල් තොගය මැයි 01වනදාට පෙර භාවිතා කිරීමට හැකිවන පරිදි සැලසුම් කරන ලෙසත් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලිඛිත උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව සහල් තොගය මධ්‍යම ගබඩාවෙන් අදාළ පළාත් වෙත නිකුත් කිරීමට පෙර පළාත් අධ්‍යාපනය භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරියෙක් සහ පළාත නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මඟින් ද සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කිරීම අනිවාර්ය කර ඇති අතර, එලෙස නිල අත්සනින් තහවුරු කිරීමෙන් පසුව පමණක් සහල් තොග අදාළ පළාත් වෙත නිකුත් කර බවයි සඳහන් වෙන්නේ.

පාසල් දරුවන් සඳහා ලබා දෙන ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ගුණාත්මක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලබාදුන් මෙම සහල් පාසලේ ආහාර පිසින්නන්ට නිකුත් කිරීමට පෙර පාසල් පෝෂණ කමිටුවේ නියෝජිතයෙකු වන මහජන සෞඛ්‍ය පරීක්ෂක මගින් පරීක්ෂා කළ යුතු බවට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

ජාත්‍යන්තර ආහාර ඇසිරීමේ තත්ත්ව ප්‍රමිතීන්වලට අනුකූලව ඇසුරුම් කර ඇති මෙම සහල් තොගය මැයි 31 වැනිදාට පෙර භාවිත කිරීමට සුදුසු බවට නිර්දේශ කර ඇති බව සඳහන්.

මෙම සහල් ප්‍රදානයක් ලෙස ලැබී ඇති බැවින් සහල් ඇසුරුම්වල “Not for Sale” (විකිණීම සඳහා නොවේ) ලෙස මුද්‍රණය කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විවිධ තල නියෝජනය වන පරිදි සිදුකළ විධිමත් පරීක්ෂාවකින් අනතුරුව ලෝක ආහාර වැඩසටහන යටතේ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොග පාසල් සඳහා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

COMMENTS