පැන්ඩෝරා ලියවිලි: හෙළිවූ පැන්ඩෝරා ලියවිලි පිළිබඳ සරල මාර්ගෝපදේශනයක්

ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ.

‘පැන්ඩෝරා ලියවිලි’ ලෙස නම් කර ඇති, අක්වෙරළ සමාගම්හි ලිපි ගොනුවල වර්තමාන සහ හිටපු නායකයින් තිස්පස් දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වේ.

මේ අතර, හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරුපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේශන්ගේ නම් ද සඳහන් වේ.

මුදල් විශුද්ධිකරණයේ එක් පියවරක් ලෙස ඔවුන්ඇමරිකාව, බ්‍රිතාන්‍යය, සැමෝවා, වර්ජින් දූපත්, සහ නවසීලන්තයේ ආයතන 08 ක් පිහිටුවා ඇති බව පැන්ඩොරා වර්තා අනාවරණය කරයි.

මේ සතියේ ප්‍රකාශයට පත් කළ ලිපිවල අඩංගු කරුණු සොයා ගැනීම සඳහා රටවල් 117 ක මාධ්‍යවේදීන් 600කට වැඩි දෙනෙකු මූලාශ්‍ර 14ක් ඔස්සේ මාස ගණනාවක් පුරා විමර්ශන සිදු කර තිබිණි.

වොෂිංටන් ඩීසී හි ‘ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ සංසදය’ (ICIJ) විසින් මෙම දත්ත ලබා ගෙන ඇති අතර, ඔවුන් මෙතෙක් සිදු කළ ලොව විශාලතම විමර්ශනය වන මෙය සඳහා මාධ්‍ය සංවිධාන 140 කට වැඩි සංඛ්‍යාවක් සමඟ කටයුතු කර ඇත.

එක්සත් රාජධානියේ පරීක්ෂණ මෙහෙයවූයේ බීබීසී පැනොරාමා කණ්ඩායම සහ ‘ගාඩියන්’ පුවත් සේවය විසිනි.

හෙළිදරව් කර ඇත්තේ කුමක්ද?

පැන්ඩෝරා හෙළිදරව්වට ලිපි මිලියන 6.4ක්, ඡායාරූප මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක්, ඊමේල් මිලියනයකට වැඩි ප්‍රමාණයක් සහ පැතුරුම් පත් (spreadsheets) මිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වේ.

මෙතෙක් හෙළිදරව් කරන ලද පුවත්වලට ඇතුළත් වන්නේ:

  • යුරෝපයේ විශාලතම දූෂණ අපචාරයකට සම්බන්ධ වූ, බ්‍රිතාන්‍යයේ පාලක කන්සවේටිව් පක්ෂයේ ප්‍රධාන මූල්‍ය ආධාරකරු
  • ජෝර්දාන රජු රහසිගත සමාගම් හරහා එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ දේපල සඳහා පවුම් මිලියන 70 ක් වියදම් කිරීම
  • පවුම් මිලියන 400කට වැඩි වටිනාකමක් ඇති එක්සත් රාජධානියේ දේපල ගනුදෙනුවකට, අසර්බයිජානයේ ප්‍රමුඛ පෙලේ පවුලක ඇති සැඟවුනු මැදිහත්වීම
  • ප්‍රංශයේ විශාල නිවාස දෙකක් පවුම් මිලියන 12කට මිලදී ගැනීමට භාවිතා කළ අක්වෙරළ ආයෝජන සමාගමක් ගැන ප්‍රකාශයට පත් කිරීමට චෙක් ජනපදයේ අගමැති අසමත් වීම
  • දශක ගණනාවක් තිස්සේ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ පවුලට රහසිගතව අක්වෙරළ සමාගම් ජාලයක් හිමි වූ ආකාරය

රටවල් 90ක දේශපාලනඥයින් 330කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව ලෝකයේ සමහර බලවත් පුද්ගලයින් තම ධනය සඟවා ගැනීම සඳහා රහසිගත අක්වෙරළ සමාගම් භාවිතා කරන ආකාරය ලිපි ගොනු මඟින් හෙළිදරව් වෙමින් තිබේ.

එක්සත් ජනපද බුද්ධිමණ්ඩලයක් වන Global Financial Integrityට (ගෝලීය මූල්‍ය අවංකබව) සම්බන්ධ ලක්ෂ්මී කුමාර් පැහැදිලි කළේ, බොහෝ විට නිර්නාමික සමාගම් භාවිතා කිරීම තුළින් මෙම පුද්ගලයින්ට “මුදල් පුනීලයකින් පෙරාගෙන, සියුම් බට ඔස්සේ රැගෙන ගොස් සැඟවීමට” හැකි වී ඇති බවය.

COMMENTS