ජංගම දුරකථනයෙන් බැංකු ගණුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන්න

ජංගම දුරකථනයෙන් බැංකු ගණුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන්න

ජංගම දුරකථන පරිශීලනය කරමින් බැංකු කටයුතු සිදුකරන ගනුදෙනුකරුවන්, සිය ගනුදෙනු සිදුකිරීමේදී වංචාකරුවන්ට හසුනොවීමට පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස, ශ්‍රී ලංකා බැංකු සංගමය LANKAPAY සහ FINCSIRT ආයතන ඉල්ලා සිටී.

ගෝලීය හා දේශීය වශයෙන් සිදුවන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබී ඇති බවත්, ජංගම දුරකථන උපාංග හරහා ප්‍රවේශවීමේ අවස්ථාව වංචාකරුවන් විසින් හසුකරගනු ලැබුවහොත් එම උපාංග දුරස්ථව පාලනය කිරීමේ හැකියාව ඔවුන් අත්පත් කරගන්නා බවත්, එහිදී අන්තර්ගත බැංකු/ගෙවීම් යෙදුම් (Payment Apps) ඔවුන් පහසුවෙන් ප්‍රවේශ වී බැංකු ගිණුම් හා ගෙවීම් කාඩ්පත් තොරතුරු ලබාගනිමින් ඒවාහි මුදල් වංචනිකව භාවිත කර මුදල් සොරකම් කිරීමට කටයුතු කරන බව ද බැංකු සංගමය කියා සිටී.

ඇදහිය නොහැකි ආකාරයේ ආකර්ෂණීය වට්ටම් හා දීමනා ලබාදෙන මාර්ගගත වෙළෙඳ දැන්වීම්වලින් ප්‍රවේශම් වන්න.

සබැඳි මත ක්ලික් කිරීම හා නොදන්නා මූලාශ්‍ර තුළින් ලබාදෙන යෙදුම් හෝ ගොනු (file) බාගත කිරීමෙන් වළකින්න.

ඔබගේ අනුමැතියකින් තොරව ඔබව එක්කර ඇති සමාජ මාධ්‍ය හෝ මාර්ගගත පණිවිඩ හුවමාරු ක්‍රමයන්හි නොදන්නා සහ නුපුරුදු සමූහවලින් ඉවත් වන්න.

එවැනි සමූහ මඟින් බෙදාහරින ලද සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න.
Apple App Store,Google Play Store වැනි නිල යෙදුම් ගබඩා තුළින් පමණක් ඔබගේ යෙදුම් බාගත කරගන්න.

බැංකු ගිණුම්/ගෙවීම් යෙදුම් ඇති විටකදී ඒවා වෙත ප්‍රවේශවීමට ජෛව සත්‍යාපන ක්‍රමවේද (ප්‍රවේශ වීමේ ක්‍රම) භාවිත කරන්න. (උදා. ඇඟිලි සලකුණු, මුහුණ හඳුනා ගැනීම)

යෙදුම් සඳහා ප්‍රවේශවීමේ අවස්ථාව ලබාදෙන අවසරයන් නිතිපතා සමාලෝචනය කරන්න.

එසේම ස්ථාපිත යෙදුම් සඳහා ලබා දී ඇති අධි අවසරයන් ඉවත් කරන්න.

නිල යෙදුම් ගබඩාවලින් පිළිගත් ප්‍රති-වෛරස යෙදුමක් (antivirus app) ස්ථාපනය කර වෛරස් සහ හානිකර මෘදුකාංග හඳුනා ගැනීමට සහ ඉවත් කිරීමට එය යාවත්කාලීන කරන්න.

සබැඳි ක්ලික් කිරීම තුළින් පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු හෙළි කිරීමට ඔබව පොලඹවනු ලබන පණිවිඩ පිළිබඳ ප්‍රවේශම් වන්න.

ඔබගේ උපාංගයෙහි අසාමාන්‍ය හැසිරීමක් දුටුවහොත් වහාම ජංගම දත්ත (mobile data හෝ WiFi) අක්‍රිය කරන්න. නැතිනම් airplane mode සක්‍රිය කරන්න.

FinCSIRT බැංකු සහ මූල්‍ය ආයතන විසින් නිකුත් කරනු ලබන මූල්‍ය වංචා පිළිබඳ අනතුරු ඇඟවීම් කෙරෙහි අවධානය යොමු කර ඔවුන් විසින් නිර්දේශ කර ඇති පූර්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න.

COMMENTS