ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අද (07) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

ඒ මහතාගේ දේහය මේ වන විට කොළඹ ඩී.එස්. සේනානායක මාවතේ පිහිටි රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

කලාකරුවන්, හිතවතුන් ඇතුළු බොහෝ පිරිසක් එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා පසුගිය (04) උදෑසන පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණා.

ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයේ නොමැකෙන සන්නාමයක් වූ සුමින්ද සිරිසේන ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන සිහිවටනයන් රැසක් තැබු අති දක්ෂ රංගනවේදියෙක්.

1948 වසරේ ජුලි මස 4වනදා කෑගල්ල බොස්සැල්ල ගම්මානයේ උපත ලැබූ සුමින්ද සිරිසේනයන් පාසල් අධ්‍යාපනයෙන් පසු දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබා කොළඹට පැමිණියා. ඉන් අනතුරුවයි ඔහු රංගන ක්ෂේත්‍රයට අත්පොත් තැබුවේ.

වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන තෙවැදෑරුම් රූපන මාධ්‍යයේ ස්වකීය අනන්‍ය වූ රංගනයෙන් අතික්‍රමනය කළ සුමින්ද සිරිසේනයන් රංගන දිවියට අවතීර්ණ වන්නේ ජ්‍යෙෂ්ඨ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ධම්ම ජාගොඩ මහතාගේ රංග ශිල්ප ශාලාව තුළිනුයි.

ප්‍රකට නාට්‍යයක් වන මුහුදු පුත්තු නාට්‍යයේ දියෝනිස්ගේ චරිතයට පන පොවමින් ප්‍රසිද්ධ වේදිකාවේ බැබලුනු ඔහු මෙරට වේදිකාවේ අති විශිෂ්ට නිර්මාණ වන සිංහබාහු, මනමේ, මහාසාර මෙන්ම බවකඩතුරාව, කදා වළලු ඇතුළු සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය රැසක මතකයේ රැදෙන චරිත වලට රංගන දායකත්වය ලබාදුන්නා.

සුමින්ද සිරිසේනයන් සිනමාවට අවතීර්ණ වන්නේ විජය ධර්මශ්‍රී මහතාගේ දුහුල් මලක් චිත්‍රපටයෙනි. දඩු මොනරා, ගුරු ගෙදර, සප්ත කන්‍ය, සිටු කුමාරියෝ, යකඩ පිහාටු, ගිනි කිරිල්ලි වැනි සිනමා පට මෙන්ම මෑතකාලීනව නිශ්පාදනය වූ සෝමරත්න දිසානායකයන්ගේ සමනල තටු චිත්‍රපටයේ සොත්ති මාටින් ලෙස කල චරිතය සිනමාවේ අනුවේදනීය මතකයන් සනිටුහන් කළා.

ටෙලිනාට්‍ය නළුවෙකු ලෙස අවස්ථා රැසකදී සම්මානයට පාත්‍ර වන සුමින්ද සිරිසේනයන්ගේ විශිෂ්ට රංගන පෞරුෂය තහවුරු වූ විශේෂම අවස්ථාව වන්නේ චරිත තුනක් ටෙලිනාට්‍යයේ ඉසාගේ චරිතයයි.

එතැන් සිට ඔහුගේ ටෙලිනාට්‍ය චරිතාවලෝකනය තුළ අසල්වැසියෝ, සිහින නිම්නය, හිරුට මුවාවෙන්, නිසලවිල, රම්‍ය සුරම්‍ය ඔහු පන පෙවූ සුවිශේෂී ටෙලිනාට්‍ය චරිත අතර වනවා.

වසර 40කට අධික කාලයක් කැමරාව ඉදිරියේ තම රංගන පෞරුෂය විදහා දැක්වූ සුමින්ද සිරිසේනයන් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන විශේෂ ගෞරව උපහාරයෙන් පිදුම් ලැබුවා.

එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ද සුමින්ද සිරිසේනයන් වෙත ගෞරව ඇගයීමක් පිරිනැමුණා.

ජ්‍යෙෂ්ඨ රංගධරයානෙනි ඔබේ නික්ම යාම රංගන ක්ෂේත්‍රයට කිසිදා සපුරාලිය නොහැකි පාඩුවකි

ලාංකීය කලා කෙත විශිෂ්ඨ හා අපූර්ව රංග ප්‍රතිභාවයෙන් සුපෝෂණය කර, දෙස් විදෙස් කලාකාමී සහෘද හදවත් අමන්දානන්දයට පත්කළ රංගදරයාණෙනි ඔබට නිවන් සුව…!

ඔබගේ මතකයන් සදා අමරණීයයි
ආදරණීය ස්වාමියෙකු
සෙනෙහෙබර පියෙකු
කලාකාමී හා විශිෂ්ඨ රංඟදරයෙකු ලෙස
සහෘද හදවත් අමන්දානන්දයට පත්කළ
විශිෂ්ඨ කලාකරුවාණෙනි,
ඔබට සුබ ගමන්!