නීති කඩා රෝන්දේ ගිය වාහන 911 පන්නා දමයි

බස්නාහිර පළාතේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දකුණු පළාතටත් ප්‍රධාන මාර්ග ගණනාවකින් තවත් පළාත් කිහිපයකටත් සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව ගමන් ගත් වාහන 911 ක් පොලිස් මුර කපොලු කිහිපයකදී දැඩි ලෙස පරීක්ෂාකර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය.

මේ අනුව කොළඹ දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ දකුණු පළාතට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 585ක්ද පුත්තලම මාර්ගය, ගාලු මාර්ගය රත්නපුර මාර්ගය සහ නුවර මාර්ගය ඔස්සේ දකුණු පළාත ඇතුළු පළාත් කිහිපයකට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 326ක්ද මෙසේ හරවා යැවූ බව හෙතෙම සඳහන් කළේ‍ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අධිවේගී මාර්ගවල ගමන් ගත් පුද්ගලයන් 930දෙනකුට මෙම මුර කපොළුවලදී දැඩි ලෙස අවවාද කළ බව පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාත් අතර සංචරණ සීමා ලබන 21 වෙනිදා දක්වා දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද පැවසුවේය.

මහනුවර මාර්ගය, පුත්තලම මාර්ගය,රත්නපුර මාර්ගය ,සහ ගාලු මාර්ගය යන මාර්ගවල මුර කපොළුවලදී ආපසු හරවා යැවූ පුද්ගලයන් සංඛ්‍යාව 783ක් බවත් අධිවේගී මාර්ගවලදී මෙදින පරීක්ෂාවට ලක් කෙරුණු වාහන සංඛ්‍යාව 5132ක් බවත් පොලිස් මූලස්ථානය පවසයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ.

බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට පිටවූ වාහන සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් අද (17) දිනයේදී දක්නට ලැබුණු බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පැවසීය.

පෙර දින ක්‍රියාත්මක කළ මෙහෙයුම නිසා එම තත්වය ඇතිවන්නට ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය

COMMENTS