විදෙස් රටවල හමුදා රැකියා සඳහා යන්න එපා

විදෙස් රටවල හමුදා රැකියා සඳහා යන්න එපා

මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා මෙරට තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ හේතුවෙන් අදාළ ජාවාරම් සඳහා හසුනොවන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සංචාරක වීසා මගින් රුසියානු හමුදා සේවයට එක්වී විවිධ දුෂ්කරතාවයන්ට ලක්වී ඇති පිරිසකගේ ඥාතීන් පසුගියදා අමාත්‍යවරයා හමුවී ඇති අතර, ඒ අනුව ඔහුගේ උපදෙස් පරිදි එම පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා

රුසියානු හමුදාවේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව පවසා විශ්‍රාමික හමුදා සාමාජිකයින් මේ සඳහා බඳවා ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔවුන්ට වැන්ගර් කුලි හමුදාවේ සේවය කිරීමට සිදුව ඇති අතර එහිදි ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා මෙම පුද්ගලයින් යොදවා ඇති බවත්, මාස ගණනකින් ඔවුන්ට හිමි වැටුප් පවා ලබා නොදී ඇති බවත් වාර්තා වනවා

අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා රජයේ අනුමැතියකින් තොරව කිසිඳු පුද්ගලයෙකු යුධ සේවය සඳහා විදේශ රටකට යොමු නොකරන බවයි.

එමෙන්ම, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගත නොවන ලෙස කෙතරම් දැනුවත් කිරීම් සිදුකළ ද එම රැකියා සඳහා ගොස් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවන බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS