පසුගිය වසරේ මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙලා

පසුගිය වසරේ මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙලා

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මධ්‍යසාර බෝතල් (කාලේ බෝතලය) නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි.

එමෙන්ම, 2022 වසරේ දී මිලිලීටර් 750 මධ්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර, එම සංඛ්‍යාව 2023 වසරේ දී මිලියන 39.5 දක්වා අඩු වී තිබෙන බවත් ඔහු පවසනවා.

2022 වසරේ දී මිලියන 46.8ක් නිෂ්පාදනක් සිදු කළ මිලිලීටර් 375 බෝතල් ප්‍රමාණය වෙනුවෙන් 2023 වසරේ දී නිෂ්පාදනය කර ඇත්තේ බෝතල් මිලියන 36.6ක ප්‍රමාණයක් බවත්, 2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකයට අද (09) පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින්.

මේ අතර 2023 වසර තුළ පමණක් අලුතෙන් මධ්‍යසාර බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත්, ඉන් 147ක් ම සංචාරක කර්මාන්ත‍ය වෙනුවෙන් නිකුත් කරනු ලබන රාබී 7, 8 සහ 11 වර්ගයේ ඒවා බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති සමස්ත මධ්‍යසාර බලපත්‍ර ප්‍රමාණය 5730ක් බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, මධ්‍යසාර බෝතලයක මිලෙන් 75%ක් බදු ලෙස අය කරන අතර, වැඩි බදු ප්‍රමාණයක් අය කරන්නේ මධ්‍යසාරවලින් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS