SPA ගොස් ඩෙකා නැටූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

සම්බාහන මධ්‍යස්ථානයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව මෙම නිලධාරීන් තිදෙනා මාතර වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් එහි කළමණාකාරවරිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගෙන ඇති අතර, පසුව එහි සේවය නොමිලේ ලබා ගැනීමට උත්සහ දරා ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකදී අදාළ නිලධාරීන් තිදෙනා එම චෝදනාවට වැරදිකරුවන් බවට පත්ව ඇති අතර, පසුව මාතර කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරිවරයා විසින් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලීසියේ විනය පවත්වා ගැනිමට හානිවන අයුරින් හැසිරීම, පොලිස් නිලධාරියෙකු ලෙස තම නිලය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම යන වැරදි මත අපකීර්තිදායක හැසිරීම හා දුෂිත ක්‍රියා යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.