සිසු සැරිය සඳහා රජයෙන් ලබාදෙන ගාස්තුව ඉහළ නැංවීමට අවධානය

සිසු සැරිය සඳහා රජයෙන් ලබාදෙන ගාස්තුව ඉහළ නැංවීමට අවධානය

පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල් බස් රථ සේවාව සඳහා රජයෙන් ලබාදෙන ගාස්තු ඉහළ නැංවීමට අවධානය යොමු වී ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඊට සමගාමීව ගැමි සැරිය සහ නිසි සැරිය යන සේවාවන් සඳහා රජයෙන් ලබාදෙන ගාස්තු ද ඉහළ නංවන බවයි ඒ මහතා පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන හා මහා මාර්ග විෂයන් තුළ නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (03) පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පැවසුවා.

ඒ අනුව සිසු සැරිය බස් රථ සඳහා දැනට කිලෝමීටරයක් සඳහා ගෙවන රුපියල් 105ක ගාස්තුව රුපියල් 118ක් දක්වා ඉහළ නංවීමට කැබිනට් පත්‍රිකාවක් යොදා ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

කෘෂිකර්ම අමාත්‍ය හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු මහජන නියෝජිතයන් රැසක් සහභාගීවී සිටියා.