දරුවන් ලෙඩ කරන ප්ලාස්ටික් නිෂ්පාදන ගැන අනතුරු අඟවයි

දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ.
ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී එමඟින් ලබාදෙන නිර්දේශ අනුව දරුවන්ගේ සෞඛ්‍යයට එල්ල කරන එවැනි නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම සඳහා ගතහැකි උපරිම තීන්දු තීරණ ගන්නා බව කොළඹ අද (03) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,
“උණු වතුර දාන්න හොඳ නැති ප්ලාස්ටික් බෝතල්වලටත් වතුර දානවා. ලෝකය මේ භාණ්ඩ නිෂ්පාදනයේදී සැලකිලිමත්වෙලා තියෙන ආකාරය ඒවායේ අඩංගු පිළිකාකාරක පිළිබඳ අවධානය යොමුකරලා තියෙනවා. වෙළෙඳපොළේ කරපු පරීක්ෂණවලදී අවදානම් සහිත බරපතල තත්ත්වයන් වාර්තාවෙලා තියෙනවා. අපි තීරණයක් ගත්තා ඉදිරි මාස දෙකක් තුළ මේ ගැන දැඩි තීරණ ගන්නවා. ආනයනකරුවන්, නිෂ්පාදකයින් ගෙනැල්ලා ඔවුන්ට කරුණු කියනවා. විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් අපි පත්කරනවා. ඒ කමිටුවට සියලුම පාර්ශ්වයන්ට ඇවිත් කරුණු කියන්න පුළුවන්. අපි මාස දෙකකට පසුව එන වාර්තාවෙන් පසුව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම තීරණ ගන්නවා.”