ලුණුවලට පාලන මිලක් ?

ලුණුවලට පාලන මිලක් ?

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැත්වුන සාකච්ඡාවකදී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි.

එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර නොපවත්වන බව දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇත.

උපරිම සිල්ලර මිලක් පැනවීමේදී අදහස් ලබාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කැඳවා සාකච්ඡා කර ඇත.

එම සාකච්ඡාවේදී මතු වූ කරුණුද සැලකිල්ලට ගනිමින් නියම කල යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් තීරනය කරනු ලැබුවහොත් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම් දීමට සභාව විසින් කටයුතු කරනු ලැබේ.

ඒ අනුව එම මිල ගණන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශකිරීමට අධිකාරිය කටයුතු කරන අතර මාධ්‍ය වෙත ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ඉදිරිපත්කර ඇති මිල ගණන් හා ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එකඟ වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව දැනුම් දී තිබේ.

එමෙන්ම, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු මෙන්ම සිල්ලර මිලක් සඳහන් නොවන ලුණු අසුරන වෙළෙඳපොළට නිකුත්කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවත් එවැනි නිෂ්පාදන සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගන්නා බවත්, එම නිසා එවැනි නිෂ්පාදන මිලදීගැනීම හා අලෙවිකිරීම සිදු නොකරන ලෙසත් සියලුම වෙළෙඳ මහතුන් දැනුවත් කරන බවත් සඳහන් වේ.

තවද , තමන්ට භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසද සියළුම ව්‍යාපාරිකයන් දැනුවත් කරන අතර එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ලග තබා ගන්නේනම් ඒ සම්බන්ධවද නීතිමය පියවර ගන්නා බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

COMMENTS