ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර – පරීක්ෂණ වාර් තාවකින් එළියට

ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල මාරාන්තික බැක්ටීරියා හා ලුණු වතුර – පරීක්ෂණ වාර් තාවකින් එළියට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ධුර කාලයේදී මෙරට රෝහල් තුළ බෙදා හැරුණු ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධවල කිසිදු ඖෂධයක් නොමැති බව හා ඒවා තුළ මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා ද්‍රාවනයක් ඇති බවටත් ජර්මනියේදී කළ පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් පැවසුවේ පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙන්වන ලද ඖෂධයක තිබී ඇත්තේ ලුණු ද්‍රාවනයක් පමණක් බවටද අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇති බවයි

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණු ඊට අදාළ නඩු විභාගය අද දිනයේදී අවසන් කෙරුණු අතර, අදාළ නඩුව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතයි.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනෙකුට එරෙහි නඩු විභාගය අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ විභාගයට ගැනුණා.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ප්‍රශ්නගත අදාළ ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ජර්මානු පර්යේෂණ ආයතනයකින් ලබාගත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

එම වාර්තාව ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ ස්වාමීනි, ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සහ පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදෙන ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ජර්මනියේ රසායනාගාර පර්යේෂණ ආයතනයක් විසින් කළ පර්යේෂණ වාර්තාව මේවන විට ලැබිලා තියෙනවා.

මේ පර්යේෂණය සඳහා ප්‍රශ්නගත ඖෂධ සාම්පල 200ක් පමණ යොමුකළා. ඒ පර්යේෂණයට අනුව ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය තුළ මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා ද්‍රාවණයක් ඇති බව අනාවරණ වෙලා තියෙනවා. ඒ වගේම පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදුන් ඖෂධයේ ලුණු ද්‍රාවනයක් පමණක් අඩංගු බවත් ඒ වාර්තාවේ දැක්වෙනවා. ඒ වගේම මේ ද්‍රවණ තුළ කිසිදු ඖෂධමය ද්‍රව්‍යයක් අඩංගු නෙවෙන බවත් ඔවුන් කියනවා. ඒ අනුව බැක්ටීරියාවක් වර්ධනය වුණ ලුණු සහිත ද්‍රාවනයකට තමයි ස්වාමීනි රජයේ මුදල් ලක්ෂ 1444 ක් වැයකරලා තියෙන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය එහිදී වැඩිදුරටත් පැවසුවේ ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් බවයි.

අදාළ සැකකරුවන්ට එරෙහිව ලබන සදුදා මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර නඩු පැවරීමට පියවර ගන්නා බවද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වවරිය සඳහන් කළා.

මෙම නඩුවේ සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ප්‍රශ්නගත බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු අතර දුරකථන සංවාද අටක් සිදුව ඇති බවත්, තවත් සැකකරුවෙකු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සමඟ දුරකථන සංවාද 31 ක් සිදුව ඇති බවත් පැවසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ සෙසු ඖෂධ සැපයුම්කරුවන් සමඟ එවැනි සංවාද සිදුකර නොමැති බවයි.

ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව තම අධිකරණයට අදාළ නඩු කටයුත්ත අවසන් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා