පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.
මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට බුදු දහම ස්ථාපිත වුණි.
අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකය.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකය.
මේ අතර මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි
මිහින්තලය හා අටමස්ථානය මුලික කරගෙන එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
ජිවිතාරක්ෂක කණ්ඩායම්,රථවාහන හැසිරවීමට සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් යොදවා තිබේ.
මේ අතර අනුරාධපුර පූජා භූමියට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් රථගාල් 21ක් වෙන්කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
මිහින්තලය පූජා භූමියේ ස්ථාපිත රථ ගාල් සංඛ්‍යාව 07 ක්.
මේ අතර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ලබන 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි.
අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා කිසිදු අය කිරීමකින් තොරව ගමන් වාර 36 ක් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.
මේ අතර පොසෙන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර බලා යන බැතිමතුන්ගේ පහසුව සඳහා බස් රථ 200 ක් ධාවනයට එක්කර ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
ගමනා ගමන මණ්ඩලය පැවසුවේ කොළඹ සිට දෛනික කාලසටහන්වලට අමතරව එම බස් රථ ධාවනයට එක්කර ඇති බවයි.
පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් පරීක්ෂාව සඳහා නිළධාරින් 2500 ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, අනුරාධපුර හා මිහින්තලය පූජා භුමිය ආශ්‍රිතව දන්සැල් රැසක් ලියාපදිංචිවී ඇති බවයි.