ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ අද එක්වන එයාර් බස් ගුවන් යානය

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමක් සිදු කරනු ඇති බවයි සඳහන් වන්නේ.
උදෑසන 8:00 සිට 9:00 දක්වා අඩි 1,500ක පමණ උසකින් මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කරනු ලබනවා.
ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැසීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරනු ඇති බවයි සඳහන් වන්නේ .
ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට ලැබීම ගුවන් යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයින්ට ආකර්ෂණීය අවස්ථාවක් වෙනවා.