දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද (03) ආරම්භ විය. එහි ඡන්ද විමසීම ආරම්භ වුණේ මෙරට වේලාවෙන් අලුයම 2.30ටයි

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295 කදී ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට දකුණු කොරියානු ජනතාවට හැකි බව එරට මාධ්‍ය සඳහන් කළේ ය.

මෙවර ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ තරගකරුවන් වන්නේ කොරියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් සහ පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ යන දෙදෙනායි

තවත් අපේක්ෂකයින් තිදෙනෙකු ජනාධිපතිවරණය සදහා තරග වදිනු ඇති.

ඡන්ද විමසීම හෙට(04) අලුයම 12.30ට අවසන් වේ.

මින් පෙර එරට ජනපති ලෙස කටයුතු කළ යූන් සුක් යොල් ඔහුගේ නිල රාජකාරී කාලය අවසන් වීමට පෙර ධුරයෙන් නෙරපා දමනු ලැබීය.

ඒ පසුගිය වසරේ දෙසැම්බර් 3 වන ඔහු විසින් හමුදා නීතිය ප්‍රකාශයට පත් කර රට පුරා නොසන්සුන්තාවක් ඇති කිරීම හේතුවෙනි.

පසුව විපක්ෂය විසින් ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කල අතර එය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මේ වසරේ අප්‍රේල් 4 වන දින තහවුරු කර ඔහු ධුරයෙන් පහ කරනු ලැබීය.

දින 60ක් තුළ ජනාධිපතිවරණ පැවැත්වීමට එරට නායකයින්ට සිදුවුනේ එවැනි පසුබිමකයි

COMMENTS