බන්දුල පෙතියා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කරයි

බන්දුල පෙතියා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කරයි

වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින ‘බන්දුල පෙතියා’ මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ, අදට යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් සිදුකරන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

මෙරටට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන බන්දුල පෙතියා හමුවන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්‍රයෙන් පමණි.

ඒ අනුව අද දහවල් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ගලපිටමඩ ප්‍රදේශයේදී ඊට අදාළ වැඩසටහන පැවැත්වීමට නියමිතයි . මේ අතර, නිල්ගල වනය අද දිනයේ රක්ෂිතයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල රතුගල ආදිවාසී ජනඋරුම මධ්‍යස්ථානයේදී අද පෙරවරු 8 ට එම උත්සවය පැවැත්වීමට නියමිතයි.

නිල්ගල වනාන්තරයේ ප්‍රධානතම වන සංරක්ෂණ කොටස බිබිල අඩවියයි.

මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිණියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්ටු 4 ක් එම වනයට අයත් ය.

ඒ අනුව නිල්ගල වනයට හෙක්ටයාර් 40,683ක රක්ෂිතයක් හිමිවෙයි.

ජගත් පරිසර සංරක්ෂණ දිනයට සමගාමීව නම් කෙරුණු පරිසර සතියේ සිව්වන දිනය අදයි.