ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 3050ක් අද එයි

ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 3050ක් අද එයි

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව සඳහන්ය.

පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2800ක් ඊට අයත් බවයි “අද දෙරණ” කළ විමසීමක දී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට මාසික ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර වාර්ෂික අවශ්‍යතාවය ලුණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 80,000කි.

කන්න දෙකකදී මෙරට ලුණු අස්වැන්න ලබා ගන්නා අතර එක් කන්නයක අස්වැන්න පෙබරවාරි මස මැද සිට අප්‍රේල් මාසයේ මැද දක්වාත්, අනෙක් කන්නයේ අස්වැන්න ජුනි මාසයේ මැද සිට ඔක්තෝම්බර් මාසයේ මැද දක්වාත් ලබා ගැනීම සිදුකෙරේ.

කෙසේවෙතත් පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය වසරේ මෙම කන්න දෙකේ දීම අපේක්ෂිත ලුණු අස්වැන්න ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙරට අවශ්‍යතාවය සඳහා ලුණු ආනයනය කිරීමට සිදුවුණි.

COMMENTS