සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එහි වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස තමන් උපදෙස් දුන් බවයි.

එලෙස හදිසියේ මියගොස් ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකි.

උපකුලපතිවරයා පැවසුවේ ඔහු ඇතුළු තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුන්ට මේ දිනවල ඔන්ලයින් මාර්ගයෙන් අධ්‍යාපනය ලබා දෙන බවයි.

ඒ අනුව, ඔහුට විශ්වවිද්‍යාලයට පැමිණිමට අවශ්‍යතාවක් නොමැති බව ද උපකුලපතිවරයා පවසයි.

කෙසේ වෙතත් අදාළ සිසුවා පසුගිය 26වැනිදා විශ්වවිද්‍යාලයට පැමිණ ඇති බවත් 27වැනිදා විශ්වවිද්‍යාලයේ අවුරුදු උත්සවයකට සහභාගි වී ඇති බවටත් තොරතුරු වාර්තා වන බව උපකුලපතිවරයා සඳහන් කළේ ය.

එම සිසුවාට විශ්වවිද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම් නොමැති වුවද ඔහු රැඳි සිට ඇත්තේ තෙවැනි වසර සිසුන් කණ්ඩායමක් සිටි නේවාසිකාගාරයක බවට ද තොරතුරු වාර්තා වේ.

මේ අතර මෙම හදිසි මරණය නවක වදය දීමෙන් සිදු වූවක් යැයි සැක කරන බවට විශ්වවිද්‍යාල සිසුවෙකු කළ පැමිණිල්ලක් මත පොලිසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසිය පවසන්නේ නවක වදය අපරාධමය වරදක් බැවින් එවැන්නක් සිදුව ඇති බවට තහවුරු වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

COMMENTS