සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා ඉහළ දැරීමට පියවර

සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා ඉහළ දැරීමට පියවර

ලක් සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු සදහන් කළේ කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි.

එම පොල් ගෙඩියක් රුපියල් 130 කට අලෙවි කරනු ඇති.

මේ වන විට ලක් සතොස හරහා අලෙවි කරන්නේ පොල් ගෙඩි ලක්ෂයක් පමණයි.

රජය සතු වතුවලට අයත් පොල්, ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් පොල් නිෂ්පාදනයට බාධා මතුවූ බවයි.

එම තත්ත්වය පහව ගොස් ඇති බැවින්, පොල් හිඟය කඩිනමින් පහව යනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

මේ අතර උත්සව සමය තුළ කිසිඳු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීම සඳහා රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේ ය.

COMMENTS