රන්ජන්ගෙන් අලුත් දේශපාලන පක්ෂයක්

රන්ජන්ගෙන් අලුත් දේශපාලන පක්ෂයක්

හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නව දේශපාලන පක්ෂයක් එළිදක්වා තිබේ.

“එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” යනුවෙන් පිහිටුවා ඇති එම දේශපාලන පක්ෂයේ ලකුණ මයික්‍රෝෆෝනය යි.

එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාව පත්කර තිබේ.

මේ අතර පක්ෂය එළැදැක්වීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා,

“අපි හම්බන්තොට, මාතර වගේ ප්‍රදේශ ඇර අනෙක් සෑම දිස්ත්‍රික්කයේම තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. ගම්පහ ලිස්ට් එක අපි ඊයේ මැතිවරණ කොමිසමට දුන්නා. අනුමැතිය හම්බවුණා. අනෙක් සියලුම දිස්ත්‍රික්කවලට තරග කරනවා.

මම හිතනවා ජනතාවගේ විශ්වාසය අනුව අපිට වැඩි ආසන ගණනක් ලබාදෙයි කියලා හිතනවා. නොසිතූ දේවල් පසුගිය කාලයේ වුණා. සමහර අය බිංදුවට වැටුණා. සමහර අය සුවිශේෂි ජයග්‍රහණයන් ලබාගත්තා. අපි බලමු මොකද වෙන්නේ කියලා. උතුරු නැගෙනහිරත් අපි තරග කරනවා. මම ගම්පහින්. හැමදාම මට ගම්පහ ජනතාව ඉතා ඉහළින් සැලකුවා.”

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටි ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන රන්ජන් රාමනායක මහතා 2010 වසරේදී පළමුව පාර්ලිමේන්තුවට තේරී පත්විය.

අනතුරුව 2015 සහ 2020 මැතිවරණවලදී ද ඔහු ජය ලබා මන්ත්‍රීවරයෙක් ලෙස පත්වුණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට ඔහු 2021 ජනවාරි 21 වනදා වැරදිකරු විය. ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිතව වසර 4ක සිර දඬුවමක් අධිකරණය විසින් නියෝග කළේය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තු අසුන අහිමිවිය.

අනතුරුව 2022 අගෝස්තු මාසයේදී එවකට ජනපති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට ලබාදුන් ජනාධිපති සමාව හේතුවෙන් ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කළේය.

මේ අතර පසුගියදා වාර්තා වූයේ තම සිවිල් අයිතිවාසිකම් නැවත ස්ථාපනය කරන ලෙස ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

අද මාධ්‍ය හමුවේදී රන්ජන් රාමනායක මහතා පැවසුවේ…
“පසුගිය ටිකේ සොයලා බැලුවම මගේ කොච්චිකඩේ මස්සිනාගේ ගෙදරට මගේ ඡන්ද කාඩ්පත ඇවිල්ලා තිබුණා. නමුත් මම කොරියාවේ සංචාරයක හිටිය නිසා මට ඡන්දෙ දාන්න යන්න බැරිවුණා. ඉන්පසු මැතිවරණ කොමසාරිස් තුමා, මැතිවරණ කොමිසමේ සභාපති තුමා ඇතුළු අය කිව්වේ මට ඡන්දෙ දාන්න පුළුවන් කියන මතය තමයි කිව්වේ. ඊට පස්සේ මම ජනාධිපති නීතිඥයින් කිහිපදෙනෙක්ගෙන් විමසුවිටත් ඔවුන් කිව්වේ මට ඡන්දෙට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා.”

COMMENTS