ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ඩෙවොන් ඇළට පෙරළෙයි
තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවොන් ඇළ මාර්ගයට පෙරළීමෙන් ලොරි රථයේ රියදුරු කොටගල ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පතන පොලිසිය සඳහන් කරනවා.
මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (02) රාත්රී 07ට පමණ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ කොටගල ප්රාදේශීය රෝහල ආසන්නයේදීයි.
ලොරි රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රථය රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ඩොවෝන් ඇළ මාර්ගයට පෙරලී මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය පවසන්නේ.
ලොරි රථය ඇළ මාර්ගයට පෙරලීමත් සමග රියදුරු සිහිසුන් වී රියදුරු අසුනේම රැදි සිටියදී වතු කම්කරුවන් පිරිසක් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් පිරිසක් එක්ව දැඩි පරිශ්රමයක් දරා ඔහුව ඉන් ඉවතට ගෙන රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ලොරි රථය අනතුරට පත්වන අවස්ථාවේ රියදුරා පමණක් එහි ගමන් කර ඇති බවද දිඹුල පතන පොලිසිය පවසනවා.
ඩොවෝන් ඇළ මාර්ගයේ ජල ධාරිතාව පවතින වර්ෂාවත් සමග ඉහළ ගොස් ඇති නිසා ලොරි රථය ඇළ මාර්ගය ඔස්සේ ගසාගෙන යාම වැලැක්විම සදහා ආධාරක පටි යොදා රදවා තිබෙනවා