අධික වර්ෂාවෙන් ගාල්ල ප්‍රදේශයේ පහත් බිම් රැසක් යට වෙයි

අධික වර්ෂාවෙන් ගාල්ල ප්‍රදේශයේ පහත් බිම් රැසක් යට වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (21) දහවල් වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක පවුල් 07ක සාමාජිකයින් 29 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙලෙස බලපෑමට ලක්ව ඇත්තේ හික්කඩුව, තවලම, ඇල්පිටිය සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිරිසක්.

අද දහවල් වනවිටත් ගිං ගඟේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නෙළුව, හිනිඳුම, තවලම ප්‍රදේශවල ගිං ගඟ අවට පහත් බිම්ද යටවෙමින් පවතින බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි පැවසුවේ, ආපදාවට පත්ව සිටින පවුල් සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බවයි.

අද පෙරවරුවෙන් අවසන් වූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කය වැඩිම වර්ෂාපතනය තවලම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එහි අගය මිලිමීටර 157.2ක්.

බද්දේගමට මිලිමීටර 153.2 වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නෙළුව ,තවලම, නාගොඩ නියාගම, වැලිවිටියේ දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම, බෝපේ, පෝද්දල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ගිංගග අවට පහත්බිම් වල ජනතාව ගිංගග ආශ්‍රිතව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග භාවිතා කරන රියදුරන් මහජනතාව පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ

COMMENTS