දිවයින පුරා පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම්

දිවයින පුරා පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම්

දිවයින පුරා පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාවය වැඩිදියුණු කිරම සඳහා මෙය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014-2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයක් අමතමින්.

මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධවන ප්‍රදේශවල ජනතාවගේ ජිවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම රටේ ආර්ථිකය දියුණු විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවටද එමඟින් ප්‍රතිලාභ හිමි වීම සහතික කළයුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එම ඉලක්කය කරා ළඟා වීමේදී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය පුදකර සිටියා.

COMMENTS