පොලිසියේ යකා නැටූ ඇමති ජීවන්

පොලිසියේ යකා නැටූ ඇමති ජීවන්

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් අද (01) පස්වරුවේ නුවරඑලිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ විශාල ආධාරකරුවන් පිරිසක් කැදවා විරෝධතාවයක නියැලිම හේතුවෙන් නුවරඑලිය අවට පොලිස් ස්ථාන වලින් අමතර පොලිස් බලැණි නුවරඑලියට කැදවා තිබුණා.

නුවරඑලියේ වතුයායක තේ කර්මාන්ත ශාලාවකට පසුගියදා එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් රැගෙන ගොස් තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි සේවකයින්ව ඉවත් කර කැළණිවැලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඇතුළු වතු පාලන අධිකාරියේ නිලධාරින් රැසක් පැය කිහිපයක් තේ කර්මාන්ත ශාලා අඩස්සියේ රදවා තබා ගැනිමට එරෙහිව එම වතුයායේ පාලන අධිකාරිය විසින් අද (01) නුවරඑළිය පොලිසියට කර තිබූ පැමිණිල්ලකට විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිස නුවරඑළිය පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නියැලුණා.

විරෝධතාවයේ නියැලි සිටි අමාත්‍ය ජිවන් තොණ්ඩමන්ට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පොලිසිය තුලට පැමිණෙන ලෙසට නුවරඑලිය පොලිසියේ නිලධාරින් අවස්ථා කිහිපයකදි ඉල්ලිම් කළත්, එම ඉල්ල්ලීම් ප්‍රතික්ෂේප කළා.

පසුව අමාත්‍යවරයා පොලිසිය තුලට ගොස් උසස් පොලිස් නිලධාරින් සමග සාකච්ඡා කර පිටතට පැමිණ ආධාරකරුවන් හමුවේ කියා සිටියේ වතු පාලන අධිකාරිය මගින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනිමට එකගතාවය පළ කල බවයි.

අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරිමෙන් පසු ආධාරකරුවන් පොලිසිය ඉදිරිපිටින් විසිර ගියා.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන්ට සහ එම පක්ෂයේ ආධාරකරුවන්ට එරෙහිව පැමිණිලි කල පාර්ශවය පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේද යන්න පිලිබදව අප වාර්තාකරු නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී, ඔහු පවසා ඇත්තේ පැමිණිල්ල කල පාර්ශවයේ කිසිවෙකුත් පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීමක් සිදු නොකළ බවයි.