පාලිතගේ කතාවට කැෆේ දැඩි විරෝධය

පාලිතගේ කතාවට කැෆේ දැඩි විරෝධය

මැතිවරණ කල් දැමීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලත රංගේ බණ්ඩාර විසින් සිදුකරන ලද ප්‍රකාශය කැෆේ සංවිධානය, දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිනවා.

විශේෂයෙන් ජනසම්මතවාදය ක්‍රියාත්මක වන රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයින් තෝරා ගැනීම සදහා නිසි කලට නිසි පරිදි නිදහස් හා සාධාරණ ලෙස මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් වන අතර, එසේ නොකර සිටීම හා/හෝ නොකර සිටින බව හැඟවීම බරපතල ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී වනවා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදි මහ මැතිවරණය හා ජනාධීපතිවරණය වසර දෙකකින් කල් දැමීම පාර්ලිමේන්තු යොජනාවක් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු වන හෙයින් එය අතිරේක තත්වයක් නිර්මාණය කරනු විනා ලේකම්වරයා අදහස් කරන ප්‍රස්තුත කාරණයට පිළීයමක් නොවන බව සදහන් කළ යුතුයි

තවද දැනටමත් රජය විසින් අන්තනෝමතික ලෙස පළාත් සභා මැතිවරණය කල්දමා ඇති අතර, පළාත් පාලන මැතිවරනයද නාම යෝජනා කැදවා, මුලික කටයුතු ආරම්භ කර ඒ සදහා රැපියල් කෝටි 94කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර එකී මැතිවරණයද නොපවත්වමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූළව නිසි පරිදි නියමිත කාලසීමාව තුළ අදාළ මැතිවරණ පැවත්වීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරින්ගෙන් කැෆේ සංවිධානය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතර එකී මැතිවරණ පැවත්වීමත්, එකි මැතිවරණ වල නිදහස් හා සාධාරණ තත්වය පිළිබදවත් අප සංවිධානය ඉතාම සංවේදිව නිරික්ෂණ කරමින් සිටින බව අවධාරණය කර සිටිනවා.